මෙතෙක් ක්‍රියාත්මක වූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්ර කරමින් සඳුදා දිනයේ සිට ඉහළ නිලධාරීන් සමග සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටින බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා.
අද දිනය තුළ තමන් ගනුදෙනු නොකරන නිලධාරීන් සහ ඉහළ පිරිස කවුරුන්ද යන්න පිළිබඳව තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම නව ක්‍රියාමාර්ගය “නන්-කොපරේෂන්” (non-cooperation) හෙවත් සහයෝගයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙස ඔවුන් හඳුන්වා දෙන අතර, එය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන කාර්යාලයේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවකට ආරාධනා කළහොත් ඊට සහභාගී වීමට සූදානම් බව ද ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
වෘත්තීය සමිති මෙම තීව්ර ක්‍රියාමාර්ගයට එළඹෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකින් තොරව සිදු කිරීම පිළිබඳව බලධාරීන්ට චෝදනා කරමින්.
ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් 24 න් බොහොමයක්ම මෙම ප්‍රතිව්‍යුහගතකරණයේ පවතින අඩුපාඩුකම්වලට සම්බන්ධ බව සඳහන්.
ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව වන්නේ, නව සමාගම් පිහිටුවීම, අධ්යක්ෂ මණ්ඩල පත් කිරීම, සේවකයින් අනුයුක්ත කිරීම වැනි පියවර නිසියාකාරව සිදු නොකිරීමයි.
තවද, සේවක ප්රතිලාභ තහවුරු කරන ලියවිලි, මානව සම්පත් ප්‍රතිපත්ති (HR Policies) ඇතුළු වැදගත් ලේඛන මෙතෙක් නිසි ලෙස සකස් කර නොමැති බවත්, ලැබී ඇත්තේ අසම්පූර්ණ කෙටුම්පත් පමණක් බවත් විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙනවා.
වර්තමානයේ සිදු කරනු ලබන අවිධිමත් ආකාරයට මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවුවහොත්, නව සමාගම් පිහිටුවීමත් සමග ගැටලු රාශියක් ඉස්මතු වන බව විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.