වට්ස්ඇප් වංචා සහ හැක්කිරීම් වැඩිවෙයි : අවදානමට පෙර දැනුවත්වන්න

මෑතකාලීනව ශ්‍රී ලංකාවේ වට්ස්ඇප් හරහා සිදුවන වංචා සහ හැක්කිරීම් සම්බන්ධ පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොළ පවසනවා.

ඒ අනුව මේ වන විට ගිණුම් හැක්වීම් සම්බන්ධ වාර්තා වැඩි වශයෙන් ලැබෙමින් පවතින බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ.

ඊට අමතරව විවිධ භාණ්ඩ අඩු මිලට අලෙවි කරන බව පවසමින් ලැබෙන පණිවුඩ ලැබෙන සමූහ හරහා සිදුවන වංචාව ද වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව චාරුක දමුණුපොළ පවසනවා.

” ඔබ නොදන්නා සමූහවලට එකතු වීමෙන් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. යම්කිසි භාණ්ඩයක් ඉතා අඩු මුදලකට අලෙවි කරන බව පවසමින්, අත්තිකාරමක් ලබාගෙන මුදල් වංචා සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම වට්ස්ඇප් ගිණුම් හැක් වීම් සම්බන්ධයෙනුත් වර්ධනයක් දක්නට ලැබෙනවා.”

අන්තර්ජාලය හරහා යම් කිසි රැස්වීමකට සම්බන්ධ වීමට අදාළව Zoom ලින්ක් එකක් හරහා කේතයක් ලබාගන්නා මුවාවෙන් වට්ස්ඇප් ගිණුමට අනවසර ප්‍රවේශයන් ලබා ගැනීම් වාර්තා වන බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරන්නේ.

ගිණුම් හැක්වීමේදී ලැයිස්තුවේ සිටින අනෙක් පුද්ගලයන්ට විවිධ පණිවිඩ යවමින් ඔවුන්ගෙන් මුදල් ලබා ගැනීම් ආදිය සිදුවන බවද අනාවරණය වී තිබෙනවා.

මේ අනුව ගිණුම් හැක් වීමක් වාර්තා වුවොත් තමන් ගනුදෙනු කරන බැංකුව සම්බන්ධ කර ගනිමින් අදාළ ආරක්ෂක උපාය මාර්ග යොදන ලෙසත්, වංචාවට සම්බන්ධ දුරකථන අංක හෝ ගනුදෙනුවල පිටපත් තිබේ නම් ආසන්නතම පොලිසියට හැකි ඉක්මනින්ම පැමිණිල්ලක් සිදු කරන ලෙසත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලා සිටිනවා.