ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීමට පවත්වන ලොතරැයි ක්‍රමයෙන් ඊට නොතේරුණු පිරිස වෙත යළි රැකියා අවස්ථා හිමිවී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව, PIBA ආයතනයේ දත්ත පද්ධතියෙන් ඉවත් කරන ලද හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිතයින් 969 දෙනෙකු නැවතත් ලොතරැයි ක්‍රමයට ඇතුළත් කර ඇති අතර, සිදුකරන ලද ලොතරැයි ක්‍රමය යටතේ එම 969 දෙනා අතුරින් 562 දෙනෙකු රැකියා සඳහා තෝරාගෙන ඇති බව ඊශ්‍රායල් PIBA ආයතනය විසින් කාර්යාංශයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
එම 562 දෙනා අතුරින් 518 දෙනෙකු පිරිමි අපේක්ෂකයින් වන අතර, 44 දෙනෙකු කාන්තා අපේක්ෂිකාවන් වනවා.
ලොතරැයි ක්‍රමය යටතේ තෝරාගත් 562 දෙනා වෙත කඩිනමින් SMS මාර්ගයෙන් ඒ පිළිබඳව දැනුම් දෙන අතර, ලොතරැයි ක්‍රමයෙන් නොතේරුණු ඉතිරි 407 දෙනා වෙතද ඒ සම්බන්ධව දැනුම් දෙන බවයි කාර්යාංශය සඳහන් කරන්නේ.
තෝරාගන්නා ලද අපේක්ෂකයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකරන අතර, මේ සම්බන්ධයෙන් කිසිඳු බාහිර පාර්ශ්වයකට මුදල් ලබාදීමෙන් වලකින ලෙසද කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ විසින් ඊශ්‍රායලයේ PIBA ආයතනය සමග සිදුකරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව හිමිවී තිබෙනවා.