පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවිය සමත් වෙයි

පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා.

ඒ අනුව, 2008 වසරේ සිට වසර 17 කට ආසන්න කාලයක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම පිළිකා සෛල නසන පෝෂක ඖෂධය සොයා ගැනීමට සමත් ව ඇති බවයි මහාචාර්ය සමීර ආර්. සමරකෝන් සඳහන් කළේ.

අණුක ජීවවේදය සහ ජාල ඖෂධවේදය වැනි නවීන විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින්, පිළිකා සෛල නසන මෙම පෝෂක ඖෂධය සාදා ඇත්තේ ඖෂධීය ශාක 05 ක් භාවිත කරමින් බවයි මෙම පරීක්ෂණයට සම්බන්ධ වූ පිරිස සඳහන් කරන්නේ.

Vernonia zeylanica, Nigella sativa, Hemidesmus indicus, Leucas zeylanica සහ Smilax glabra යන ශාකවලින් ලබාගත් ඖෂධ සම්මිශ්‍රණයකින් මෙලෙස පිළිකා සෛල විනාශ කළ හැකි බවයි මහාචාර්යවරයා පවසා සිටියේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන අතර, මෙම පෝෂක ඖෂධය හරහා 2027 වන විට මාසයකට ඩොලර් මිලියන 02 ක ආදායමක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවයි මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ඇතුළු පරීක්ෂණයට සම්බන්ධ වූ පිරිස වැඩිදුරටත් සඳහන් කරන්නේ.