පෑලියගොඩ ප්‍රදේශයේ මැණිං වෙළඳසැල අසළදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට අවශ්‍ය ගිනි අවිය සහ වෙඩික්කරු ප්‍රවාහනය කිරීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසිය භාරයේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ කුඩු සෙල්වි පාර්ශවයේ රිමෝෂන් නමැත්තෙකුගේ ගෝලයෙක් බව කියන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් “ටින්කර්” නැමැත්තා මෙම මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න අද(2) නියෝග කළා.
එම ඝාතන සිද්ධිය ඉකුත් අගෝස්තු මස 19 දින පෑලියගොඩ ඥානරතන මාවත ප්‍රදේශයේදී සිදුව ඇති බවත් එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට අවශ්‍ය ගිනි අවිය ප්‍රවාහනය කළ යතුරුපැදිකරුවා මොහු බවට විමර්ශනවලදී අනාවරණයවී ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.
එම සිද්ධියෙන් පසු මෙම සැකකාර පුද්ගලයා රහසිගතව ඩුබායි රටට පලා ගොස් ඇති බවත් පසුව ඔහු මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඉකුත් 1 දින කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.
ඉකුත් සැප්තැම්බර් මස 16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබූ තීරෝද රථයක සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් පැමිණි කාර් රථයේ රියදුරු ලෙස මොහු ක්‍රියාකර ඇතිි බවට විමර්ශනවලදී කරුණු අනාවරණයවී ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද පැමිණිල්ල මෙහෙයවූ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
විමර්ශන නිලධාරීන් අධිකරණය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු සිදුකර ඇති අපරාධවලට සම්බන්ධ පූර්ණ සම්පිණ්ඩන වාර්තාවක් මෙම මස 15 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.
සැකකාර පුද්ගලයා වෙනුවෙන් ඉනෝකා සෙනවිරත්න මහත්මිය ඇතුළු නීතිඥවරු පිණිසක් පෙනී සිටියා.