Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකා සිසුන්ට නොමිලේ ලබාදීමට පියවර

Google සමාගම විසින් සිය දියුණුම කෘත්‍රිම බුද්ධි වේදිකාව වන ‘Gemini’ ඇතුළු AI තාක්ෂණික සේවා කිසිදු ගාස්තුවකින් තොරව ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනක් පැවති සහයෝගීතා වැඩසටහනක සාර්ථක ප්‍රතිඵලයක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම නව වැඩසටහන මගින් දිවයින පුරා සිසුන්ට අති නවීන කෘත්‍රිම බුද්ධි මෙවලම් (AI tools), ක්ලවුඩ් පරිගණක වේදිකා (cloud computing platforms) සහ ඩිජිටල් ඉගෙනුම් සම්පත් සඳහා නොමිලේ ප්‍රවේශය ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළා.

මෙම පියවර මගින් ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ ඩිජිටල් සාක්ෂරතාවය සඳහා වන ජාතික හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙන අතර, එමගින් අනාගත පරම්පරාව නව්‍යකරණය සඳහා සවිබල ගැන්වීමත්, සංකීර්ණ අභියෝග විසඳීමට සහ ගෝලීය වශයෙන් තරග කිරීමට ඔවුන්ට මග පෑදීමත් සිදුවනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඉක්මනින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, වැඩිදුර තොරතුරු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.