හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර, කූඨ ලේඛන යටතේ ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද බවට සැක කෙරෙන රුපියල් කෝටි 06 කට අධික වටිනාකමකින් යුත් ජීප් රථ 03 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් Land Rover සහ Mitsubishi වර්ගයේ මෙම ජීප් රථ 03 හි වටිනාකම රුපියල් කෝටි 06 ඉක්මවන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරකට අනුව, අධ්‍යක්ෂ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාරගේ සැලසුම යටතේ 2024 දෙසැම්බර් 31 සහ 2025 ජනවාරි 01 යන දිනවලදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එහිදී, රුපියල් කෝටි 02 ක් පමණ වටිනා Mitsubishi වර්ගයේ ජීප් රථයක් සහ රුපියල් කෝටි 04 ක් පමණ වටිනා Land Rover වර්ගයේ ජීප් රථ 02 ක් මන්ත්‍රීවරයා භාරයේ තිබියදී අත්අඩංගුවට ගෙන පිංවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් රථ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රාජ්‍ය ආයතනවලට අයත් භාවිතයෙන් ඉවත් කරන ලද (ගර්භිත කරන ලද) වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කර මෙම වාහනවලට යොදාගෙන ඇති බවයි.

KM-7258 දරණ Land Rover ජීප් රථය, ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් භාවිතා කරන රථයක් ලෙස ව්‍යාජ ලෙස හඟවා ඇති බවත්, එම රථය ශ්‍රී ලංකා රේගුව මගින් ආනයනය කර නොමැති බවට රේගු වාර්තා මගින් තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, 32-4155 දරණ ජීප් රථය සමාජ සේවා දෙපාර්තමේන්තුව දකුණු පළාත නමින් ලියාපදිංචි කර තිබුණද, එය ලියාපදිංචිය අවලංගු කර වෙනත් ආයතනයකට භාර දී ඇති බවට අනාවරණය වී ඇති අතර, මෝටර් රථ පරීක්ෂකවරයෙකු මෙම රථය ව්‍යාජ සහ ධාවනයට නුසුදුසු වාහනයක් බවට වාර්තා කර තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී අද දින අත්අඩංගුවට ගත් සැකකරු හෙට දින (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.