කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 22 වැනිදායි වත්තල ඇලකන්ද ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව අදාළ සැකකරු සැප්තැම්බර් මස 23 වැනි දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුට දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනුණා.
ඒ අනුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම පුද්ගලයා දිවයිනේ විවිධ ප්‍රදේශවල කොල්ලකෑම් සහ වෙඩි තැබීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධබවත්, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙකු බවත් අනාවරණ වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අදාළ සැකකරු පසුගිය ජුනි 30 වන දින කිරිබත්ගොඩ පොලිස් වසමේදි කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලය කොල්ලකෑම සඳහා යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා බව අනාවරණ වී ඇති බවයි.
එමෙන්ම පසුගිය ජූලි 03 වැනිදා කඳාන පොලිස් වසමේදි හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සමීර මනහර නොහොත් වැලි සමීර නැමැත්තා ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි ප්‍රහාරයේ යතුරුපැදිකරු ලෙසද සැකකරු කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කළා.
අදාළ වෙඩි තැබීමෙන් සමීර මනහර නොහොත් වැලි සමීර තුවාල ලැබූ අතර ඔහුගේ මස්සිනා වන උපාලි කුලවර්ධන නමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.
පොලිසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීම විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති අතර ඒ සඳහා සැකකරුට මුදල් වෙනුවට රුපියල් ලක්ෂ 8ක අයිස් මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවයි.
තවද මෙම සැකකරු පසුගිය අගෝස්තු මස 07 වැනි දින කඳානේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට සහ පසුගිය සැප්තැම්බර් මස 06 වැනි දින මීගමුව ප්‍රදේශයේ දී නිවසකට වෙඩි තැබීමේ සිද්ධිවලට අදාළ වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.
සැකකරු මෙම අපරාධ සිදු කර ඇත්තේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කොණ්ඩ රංජි, චූටි මල්ලි සහ ඩුබායි කසුන්ගේ මෙහෙයවීම මත බවද පොලිසිය පවසනවා.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ඩුබායි කසුන් නමැත්තාට අයත් බව පැවසෙන වත්තල ප්‍රදේශයේ පිහිටි රැඳවුම්හලක සිටියදී වන අතර ඔහු අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක් ද එහිදි පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙක් බවද පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් සිදුකරනු ලබනවා.