අද කාලගුණ නිවේදනය

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ.

එසේම, උතුරු-මැද පළාතේත්, මාතලේ, මන්නාරම, සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව නිවේදනය කර තිබෙනවා.

තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.