මතට ඇබ්බැහි වුවන්ගෙන් බහුතරයට සාමාන්‍ය පෙළවත් නැහැ

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඇතුළු බොහෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ අධ්‍යාපන මට්ටම සාමාන්‍ය පෙළට (O/L) වඩා අඩු බව මෑතකදී කළ අධ්‍යනයකදී හෙළිදරව් වී තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට දැඩි පුනරුත්ථාපනයක් අවශ්‍ය වන අතර රැකියා විරහිතව සිටින නිසා රාජ්‍යයට දැඩි බරක් ද ඔවුන් එක් කරන බවයි කියවෙන්නේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සහ ඔහුගේ කණ්ඩායම විසින් මෙම පර්යේෂණය සිදු කර ඇති අතර, එහිදී 2023 වසරේ බන්ධනාගාර දත්ත සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි රටාවන් විශ්ලේෂණය කර තිබෙනවා.

ඔවුන්ගේ සොයාගැනීම් අනුව, 2023 වසරේදී විවිධ අපරාධ සඳහා පුද්ගලයන් 185,056 දෙනෙකු සිරගත කර ඇති අතර, ඉන් 46,939 දෙනෙකුට වරදකරුවන් වී තිබෙනවා. එම වරදකරුවන් වූවන්ගෙන් 29,192 දෙනෙකුගේ සිද්ධීන් සෘජුවම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ බව වාර්තා වන්නේ.

මෙම අධ්‍යයනයට අනුව ඇබ්බැහි වූවන් වැඩි වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක හතරෙන් බවයි.

වයස අනුව බැලූ විට, වරදකරුවන් වූ පුද්ගලයන්ගෙන් 8,491 දෙනෙකුගේ වයස අවුරුදු 22ත් 30ත් අතර වන අතර, 8,941 දෙනෙකුගේ වයස අවුරුදු 30ත් 40ත් අතර වනවා. මෙය තරුණ සහ මැදි වයසේ වැඩිහිටියන් වැඩි වශයෙන් මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බව පෙන්නුම් කරන්නෙ.