අමෙරිකාවේ ක්‍රිකට් සාමාජිකත්වය ICC විසින් අත්හිටුවයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඇමෙරිකානු (USA) ක්‍රිකට් ආයතනයේ ICC සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ICC ව්‍යවස්ථාව යටතේ, ICC සාමාජිකයෙකු ලෙස USA ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත්, අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ.

මීට පෙර, 2024 ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී ICC සාමාජිකත්ව නිර්ණායකයන්ට අනුකූල නොවීම සම්බන්ධයෙන් USA ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක් එල්ල වූ අතර, ඒ සඳහා පිළියම් යෙදීමට මාස 12 ක කාලයක් ලබා දී තිබුණා.

මෙම අත්හිටුවීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ක්‍රීඩාවට බලපෑමක් නොවන බව සහතික කිරීම ICC හි ප්‍රමුඛතාවය වන බවත්, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල, 2026 T20 ලෝක කුසලානය සහ වෙනත් ICC ඉසව්වලට සහභාගී වීමේ අයිතිය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කණ්ඩායමට ලබා දී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.