විදුලි වෘත්තිය ක්‍රියාමාර්ගයේ තුන්වන අදියරය ලෙස වැඩ වර්ජනයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිත බව විදුලි වෘත්තිය සමිති පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමග එම පනතට විරෝධය දක්වමින් විදුලි වෘත්තිය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය 4 වැනිදා සිටයි.
ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස ඔවුන් ප්‍රසම්පාදන කටයුතුවලින් ඉවත්වුණා.
එවැනි පසුබිමක වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ද තීරණය කෙරුණා.
එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විදුලිබල සැපයීම සම්බන්ධ සියලූ සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එය නොතකමින් විදුලි සේවකයින් අඛණ්ඩව ඊයේ 19 වන දිනටත් වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවුණා.
එවන් තත්ත්වයක් තුළ අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය හරහා පිහිටුවන රාජ්‍ය සමාගම් 4ට එක්වීමට අකැමති සේවකයින්ට වන්දි ලබාගෙන සේවයෙන් ඉවත්ව යා හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.