මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ දූෂණ නඩුව නොවැම්බර් 17 විභාගයට ගැනීමට දින නියම වේ

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, වත්කම් හා දේපළ අයථා ලෙස උපයාගත් බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (24) දින නියම කලා.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම විසින් නඩුවට අදාළ ලේඛන කීපයක් විත්තියට ලබා දුන්නා.

නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙස අල්ලස් කොමිසම විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විසින් මෙම නඩුව නොවැම්බර් මස 17 වැනිදා විභාගයට ගැනීමට තීරණය කළ බවයි සඳහන් වන්නේ.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින්, දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.