හෙද නිලධාරීන්ට පත්වීම් ලබාදීම ඔක්තෝබර් මාසයේ සිදු කරන අතර පත්වීම් ලබන සියලු දෙනා උතුරු, නැඟෙනහිර රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල සේවාවට අනුයුක්ත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2019 සිසු හෙද කණ්ඩායම ඔක්තෝබර් මාසයේ පත්වීම් ලබන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
යාපනයේ “බී” වර්ගයේ රෝහල් 5කුත්, කිළිනොච්චියේ බී වර්ගයේ රෝහලකුත් තිබෙන අතර යාපනයේ සී වර්ගයේ රෝහල් 18කුත් කිළිනොච්චියේ 6කුත් ස්ථාපිත බව ද ඇමැතිවරයා කීය. යාපනය හා කිළිනොච්චි දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය රෝහල් 30ක් ස්ථාපිත බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1,374ක් සඳහා සැප්තැම්බර් 15 වැනිදා රාජකාරියට වාර්තා කිරීමට හැකි වන පරිදි පත්වීම් ලබාදීම සිදුකර ඇත. එම නිලධාරීන්ගෙන් පිරිසක් යාපනය හා කිළිනොච්චිය රෝහල්වලට අනුයුක්ත කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.
රේඛීය අමාත්‍යාංශයට අයත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය සෞඛ්‍ය සේවක පුරප්පාඩු පිරවීමෙන් පසුව ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡා කර පළාත් සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය සේවක පිරිස බඳවා ගැනීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවසුවේය.
ස්වර්ණා විජේකෝන්
මහින්ද අලුත්ගෙදර
සන්ධ්‍යා කරුණාරත්න