මෙරට වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ප්‍රශ්නකාරි තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ රැසක් ඒකාබද්ධව “ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු“ මැයෙන් කොළඹදී ඊයේ (24) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීවේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගාමීන් තිබෙන බව යැයිද මෙහීදී ඒ මහතා කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
“හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව දැඩි කනගාටුව ප්‍රකාශ කරනවා. එතුමා මේ රටට විශාල සේවයක් කරපු කෙනෙක්. අපේ රට යන වර්තමාන ගමන් මාර්ගයේ දී රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දේශපාලනය දන්නා අයට අද ප්‍රශ්නාර්ථයක් ඇති වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මේ රටේ ජනතාවගේ ලේවලට කාවැදිලා තියෙන දෙයක්. 48 නිදහසෙන් පසුව ඩී.එස්.සේනනායක, බණ්ඩාරනායක මැතිතුමා වගේ නායකයින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා.
මගේ පාලන කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය 48න් පසු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වඩා ශක්තිමත් වූ ව්‍යවස්ථාව කියලා කියන්නට පුළුවන්. අද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් මැකී යන ආකාරයක් දකින්නට පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගාමින් තිබෙන බව තමයි අපිට පේන්නේ. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, මාධ්‍ය ආයතන, රාජ්‍ය සේවකයින්, කලාකරුවන්, පාසල් දරුවාගේ සිට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියෙන වටිනාකම සහ අගය තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. ඊට අභියෝගයක් වෙනවා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සෑම කෙනකුගේම යුතුකමක් වන්නේ, සියලු දේශපාලන පක්ෂ භේද අමතක කරලා පොදු මහජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රට බේරා ගැනීමට කටයුතු කිරීමයි.
අපේ ඒකාබද්ධ මතයක් විදිහට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කිරීමේ කාලය එළැඹ තිබෙනවා. අපේ දේශපාලන ජීවිතය තුළ නොයෙකුත් කරදරවලට අපි මුහුණ දීලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් භාරයට ගත්තයි කියන එක දේශපාලනඥයෙක් විදිහට සාමාන්‍යයි. දේශපාලනඥයෙක් රිමාන්ඩ් එකේවත් හිටියේ නැත්නම් අංග සම්පූර්ණ වෙන්නෙ නෑ. ඒ දේශපාලන චරිතය. ඇතිවී තිබෙන තත්ත්වය ඉතාමත් කනගාටුදායකයි. රනිල් වික්‍රමසිංහ මහත්මා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂයත්, මේ නීතිඥවරුත්, පැමිණ සිටින සියලු නායකයින් උපරිම කැපවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදුකරනවා.”
හිටපු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා,-“හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට කිසිම අවශ්‍යතාවක් නීතියෙන් මතු වෙන්නේ නැහැ. මේ අත්අඩංගුවට ගැනීම කිසිසේත් යුක්තිය පසිඳලීමට, දූෂණය සමාජයෙන් තුරන් කිරීමට හෝ විමර්ශන පැවැත්වීම යන එකම අරමුණකට හෝ සම්බන්ධ නැහැ. මේ අත්අඩංගුවට ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න සක්සුදක් සේ පැහැදිලියි. අස් පනාපිටම පෙනී යන්නේ රජයට එරෙහි යම් කිසි මතයක් ප්‍රකාශ කරනු ලබන පුද්ගලයන් බිය ගන්වා නිශ්ශබ්ද කිරීමට තමයි අවශ්‍යතාව වෙන්නේ.”
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ සාගර කාරියවසම් මහතා- ශ්‍රී ලංකාවේ අටවන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා අපි දැක්කා.
එම රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම ඇත්ත වශයෙන්ම කළ යුතුව තිබුණ කාරණයක්ද නැද්ද කියන කාරණය පිළිබඳව සමාජයේ ලොකු කතාවක් ඇතිවී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න කලින් ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදු කළ යුතු පරීක්ෂණ අවසන් නොකර තවදුරටත් පරීක්ෂණ කිරීමට හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම අවශ්‍ය යි කියන්නේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා. පොලිස් සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලයේ සේවය කර වත්මන් රජය බලයට පත්වූවාට පසුව විශේෂ කැබිනට් පත්‍රිකාවක් තුළින් පොලිස් සේවයට නැවත කැඳවා ගත්ත නිලධාරියකු හරහා සිදු කරනු ලබන විමර්ශනයක් තුළින් හිටපු ජනාධිපතිවරයා මෙසේ අත්අඩංගුවට පත් කරනු ලබනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් හැටියට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව සියලු දෙනා මේ සිදුවීම ඉතා දැඩිව හෙළා දකිනවා. ඉතාම පිළිකුලෙන් බැහැර කරනවා.”
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා- රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනතාවට ජීවය දුන්නා. එතුමා සහ අපි අතර දේශපාලන මත භේදකම්, නොගැළපීම් තියෙන පුළුවන්. එතුමා ආර්ථිකය ගොඩනැඟූ ආකාරය, තීන්දු ගත්ත ආකාරය යන ධනාත්මක ස්වරූපයන් පිළිබඳව අප තුළ විශාල ගෞරවයක් එතුමා සම්බන්ධයෙන් තිබුණා. මේ රටේ ජනතාව එතුමාට ණයගැතියි. ඒ අවස්ථාවේදී රට බේරාගෙන ඉදිරියට ගෙන යාමට කැප වූ නායකයෙක්. ඒක අපි පිළිගන්න ඕනේ.
අපේ දේශපාලන විරුද්ධවාදියෙක් වුණත් සගයෙක් වුණත් අපි ඇත්ත කතා කරන්න ඕනේ. අනුර කුමාර දිසානායක මහතාගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉතිහාසයෙන් ලද පාඩම් දිහා බලලා ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා දැන්වත් මේ කරන වැරදියි නිවැරදි කරගන්න කියලයි.”
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා- “රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ලංකාවේ සාපරාධී අපහාස නීතිය අයින් කළේ. ජනාධිපති මුක්තිය අහෝසි කළේ. රට වැටිලා තිබුණ වෙලාවේ මේ රට යම් තැනකට ගේන්න මහන්සි වුණ නායකයෙක් විදිහට අපි එතුමාට ගෞරව දක්වනවා.
අද බිලියන හයයි දශම ගාණක විදේශ සංචිත පිළිබඳ කතා කරන්න මේ ආණ්ඩුවට හයියක් ඇවිල්ලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙසයි. කන්න නැතුව හිටපු මිනිස්සුන්ට කන්න ටික ලැබුණේ එතුමාගේ නායකත්වය නිසයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත කියන යූ ටියුබ් ක්‍රියාකාරිකයාගේ ප්‍රකාශය පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේක නීතියට සිදුකළ බලපෑමක්. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සියලුම දේවල් සිදු කරන යූ ටියුබ් ක්‍රියාකරුවෙක්. මේකෙන් අනිසි බලපෑමක් සිදුවෙනවා.”
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා-“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා බන්ධනාගාරගත කිරීම පදනම් කරගෙන සියලු දෙනා නීතියට යටත්, නීතියට ඉහළින් කිසිවෙක් නෑ, හිටපු ජනාධිපතිවරු හෝ වෙනත් බලගතු ආගමික නායකයින් හෝ නැහැ කියන මතය සමාජගත කරන්න උත්සාහ කරනවා. දූෂණයට කිසිදු ඉඩක් නැහැ කියන කරුණ පෙන්නන්න උත්සාහ කරනවා.
වත්මන් රජයේ කැබිනට් ඇමැති ධුර දරන අයට යම් යම් දූෂණ චෝදනා තියෙනවා. මාස ගණනාවක් යනකම් පොලීසියට ඒ අයගේ ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. පදවි තානාන්තර දරන ජනාධිපතිවරුන්, අගමැතිවරු, ඇමතිවරු සහ අනෙකුත් මන්ත්‍රීවරු සම්බන්ධයෙන් පොදු කටයුතු මොනවාද පෞද්ගලික කටයුතු මොනවාද කියන එක පිළිබඳව මෙතනදී බරපතළ ප්‍රශ්නයක් පැන නඟිනවා.
ජනාධිපතිතුමා පසුගිය කාලයේ සංචාර කිහිපයක නියැලුනා. එතුමා ආමන්ත්‍රණය කරපු ඇතැම් සමාගම්වලට ට්‍රිලියන ගානක බදු සහන ලබා දීලා තියෙනවා. ඔහුගේ පෞද්ගලික චාරිකාවලට මේ පොදු දේපළ භවිත වෙන්නේ නැද්ද? අගමැතිතුමියගේ පෞද්ගලික චාරිකාවලට පොදු දේපළ භාවිත වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා.
දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක මනෝ ගනේශන් මහතා,-“මේක දේශපාලන පළිගැනීමක්. ජනාධිපතිවරුන්ට පෞද්ගලික ගමනක් යන්න බැරිද. අවුරුදු 5න් පැය 24ක් තමන්ගේ ධුරය දරන කාලයේ
තමන්ගේ මවුව්පිය සහෝදරයෝ බලන්න බැරිද?
ඉන්න ජනාධිපතිතුමාටත් අපි කියනවා ආරක්ෂාව වැඩි කරගන්න. පහසුකමක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව කරන දේශපාලන පළිගැනීම අපි හෙළා දකිනවා.”
මෙම අවස්ථාවට හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, තලතා අතුකෝරාල, පියල් නිශාන්ත, හරින් ප්‍රනාන්දු, විජිතමුනි සොයිසා, ටිරාන් අලස්, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, රවි කරුණානායක ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් රැසක් සහභාගි වූහ.
නෙරංජලා වික්‍රමසිංහ
ඡායාරූප- ශාන් රූපස්සර