ප්‍රදේශ කිහිපයක් හෙටත් උණුසුම් වෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා.

ඒ අනුව උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ඉදිරි දින කිහිපයේදී උතුර, උතුරු මැද, ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරා.