අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කරන්න දෙන්නේ නෑ

අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවා හා පුරප්පාඩු නැතිව කිසිදු හේතුවක් මත ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ඉඩ ලබා නොදෙන බවත් කෙසේ වෙතත් සාධාරණ හේතු මත අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීමට සිදු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) අමාත්‍යාංශ නිවේදනයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

වර්තමාන පාසල් පද්ධතිය තුළ පවතින අර්බුද ගණනාවක් අතර විශාලම අර්බුදය බවට පත්ව ඇත්තේ පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමයි. මෙම අර්බුදය හේතු වී ඇත්තේ ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සඳහා ඇති දැඩි තරගකාරීත්වයයි. සමස්ථ පාසල් පද්ධතියෙන් 3.9ක් වන ජාතික පාසල් සුළු ප්‍රමාණයකට සිසුන් ඇතුළත් කිරීම සඳහා දැඩි තරගකාරී ස්වාභාවයක් පැවතීම මෙම අර්බුදය උග්‍ර කරවීමට හේතු වී තිබෙනවා . මේ සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණවලදී අනාවරණය වූයේ පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය දුර්වලතා පැන නැගී තිබූ බවයි. මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රතිපාදන සලසන ලද අමාත්‍යාංශ චක්‍රලේඛන හා අමාත්‍ය මණ්ඩල තීරණවලද අඩුපාඩු දැකගත හැකි වුණා.

2023.04.25 දින නිකුත් කරනු ලැබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ 17/2023 චක්‍රලේනය ප්‍රකාරව පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට, ඒ කියන්නේ 2 සිට 11 ශ්‍රේණි දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති අතර පාසලක, පන්තියක පන්තිවල පුරප්පාඩු පවතින්නේ නම් එම පුරප්පාඩු ප්‍රසිද්ධ කර ඒ සඳහා චක්‍රලේඛයේ 3(1) ඡේදයේ දක්වා ඇති කාණ්ඩවලට අයත් සිසුන් ලකුණු අනුපිළිවෙළ අනුව තෝරාගත යුතුයි. මෙහිදී පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 2 සිට 5 ශ්‍රේණිය දක්වා 40ක්ද, 6 සිට 11 ශ්‍රේණිය දක්වා 45ක් වශයෙන්ද දක්වා තීරණය කර ඇත.

මෙම ගැටලු මඟහරවා ගැනීම සඳහා ඉදිරිපත් කරන යෝජනා. පන්තියක සිටිය යුතු අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවා පුරප්පාඩු නොමැතිව කිසිදු හේතුවක් මත ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ඇති බලතළ සංශෝධනය කිරීම. ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ. සියලුම සිසුන්ට සමාන අවස්ථා ලැබෙන ලෙස සාධාරණ ක්‍රමවේදයක් යටතේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුළත් කරගැනීමට අවශ්‍ය සුදුසු නිර්නායක හඳුන්වා දෙමින් හා නිසි උපදෙස් ලබා දෙමින් අමාත්‍යාංශ චක්‍රලේක සංශෝධනය කිරීම. සාධාරණ හේතු මත අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කර ගන්න සිදු වෙනවා. ඒ සාධාරණ හේතුවලට අපි අවස්ථාව තියාගන්න ඕනි. පාසල් පද්ධතියේ පවතින විශමතාවන් අඩු කරමින් සියලුම දරුවන්ට ගුණාත්මක භාවයෙන් යුතු අධ්‍යාපනයක් ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම. ද්වි මාධ්‍ය අධ්‍යාපනය ලැබීමට සිසුන්ට ඇති අවස්ථා පුළුල් කිරීම. සමස්ථ පාසල් පද්ධතියේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පළාත් සහ ජාතික පාසල්වල මානව සම්පත් හා භෞතික සම්පත් වර්ධනයට අවශ්‍ය කටයුතු සිදු කිරීම. මේ අනුව පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් සඳහා සුවිශේෂී අවස්ථාවක් සැලසීම හේතුවෙන් අනෙකුත් සිසුන්ට යම් අසාධාරණයකට ලක්වීමට සිදුව ඇති බව පෙනී යයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ සාධාරණ ප්‍රවේශයක් සඳහා සමාන අවස්ථා සලසන ක්‍රමවේදයක් ස්ථාපික කළ යුතුව ඇත