විපක්ෂය එකතු වුණොත් ආණ්ඩුව දිනපු සභාවලත් බලය පිහිටුවන්න පුළුවන්

ආණ්ඩුවට බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සඳහා සියලුම විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

සභාවල සභාපති ධුර හෝ උප සභාපති ධුර ගැන නොසිතා ජාතික ජන බලවේගයට එරෙහිව විපක්ෂයේ සියලුම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්විය යුතු බව ද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව එලෙස ආණ්ඩුවට බලය නොලැබෙන සභාවක් ලෙස විපක්ෂයේ බලය පිහිටුවීමෙන් රටට ආදර්ශයක් සැපයිය හැකි බවයි.

සියලුම සභා සභාපතිවරුන් සහ සාමාජිකයන් ඔවුන්ගේ ධුර කාලය තුළ කිසිදු වංචාවකට හා දූෂණයකට සම්බන්ධ නොවන බවට ප්‍රතිඥා දිය යුතු බව ද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

“පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය ආසන 17 ක් පමණක් ලබාගෙන තිබෙනවා. විපක්ෂයට ආසන 21 ක් තිබෙනවා. අපට සියලුම විපක්ෂ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ මෙම සභාව පිහිටුවිය හැකියි.”