2022 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව, මෙම පහරදීම සිදු කළ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනා විසින් පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 15ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කර ඇත.
එම මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් පහරදීම සිදු කළ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනා විසින් ගෙවිය යුතු බව සඳහන් වේ.
තවද, සිද්ධියෙන් අනතුරුව පෙත්සම්කරුගේ වැඩ තහනම් කිරීමට ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බවත්, එමඟින්ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් අධිකරණය තීරණය කර ඇත.
ඒ අනුව එවක ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා විසින්ද රුපියල් 50,000ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවට නියෝග කර ඇත.
මෙම නඩුව ගම්පහ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව විභාග කර ඇති අතර, විනිසුරු මණ්ඩලයේ එකඟත්වයෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.








