-සැකකරුවන්ට පලායන්න වනජීවී නිලධාරීන්ගෙන් සහය
යාල වනජීවී කාර්යාලයට මීටර් 500ක් පමණ දුරින් යාල රක්ෂිතයේ පවත්වාගෙන ගිය ගංජා හේන් 7ක් තණමල්විල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව ඩ්‍රෝන යානා යොදාගනිමින් පෙරේදා (27) කළ විශේෂ මෙහෙයමුකදී සොයා ගෙන ඇත.
වැටලීමේදී අක්කර 10කට වඩා වැඩි ගංජා හේන් 07ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැටලීමේදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සැකකරුවන් 05 දෙනකු පලාගොස් ඇති අතර සැකකරුවන් 05 දෙනා හඳුනාගෙන තිබේ.
සැකකරුවන් එක්ව යාල රක්ෂිතයේ ස්ථාන 07ක මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් තිබූ අතර, එහි තිබී ගංජා ගස් ලක්ෂ එකහමාරකට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් ගලවා ගිනි තබා විනාශ කර තිබේ.
තණමල්විල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් හා ගුවන් හමුදා නිලධාරීන් කණ්ඩායම යාල රක්ෂිතයට මෙම වැටලීම්වලට යෑමට යාල රක්ෂිතයට ඇතුළු විමට ගිය අවස්ථාවේ යාල කලුපාලම වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඊට විරෝධය පා තිබේ. ජනාධිපතිවරයාගේ ‘ඉවත්වෙනු’ වැඩසටහනට සමගාමිව මෙම නිලධාරීන් විසින් සියලුම තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙම වැටලීමට ගොස් තිබුණි. එම අවස්ථාවේදී වනජීවී නිලධාරීන් පැය කිහිපයක් නිලධාරීන්ට යාලට ඇතුළු වීමට ඉඩ නොදී වළක්වා ඇති අතර, පසුව පොලිස් නිලධාරීන් විසින් උසස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු වැටලීම සිදුකිරීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව පොලිස් නිලධාරීන් අදාළ වැටලීම සිදුකර තිබුණේ යාල කලුපාලම වනජීවී කාර්යාලයට කිලෝමීටරයක් ආසන්නයේදීය. වනජීවි කාර්යාලයට මීටර් 500ක් පමණ එපිටින් තිබූ එක් ගංජා හේනක් ඒ වන විටත් සැකකරුවන් විසින් කපා ඉවත් කර තිබුණි. වැටලීමෙන් අත්අඩංගුවට පත් ගංජා හේන් ආසන්නයේම තිබීම පිටුපස මේ සඳහා වනජීවී නිලධාරීන්ගේ සහය ලැබී ඇති බවට පොලිස් නිලධාරීන් සැක පළ කරයි. වැටලීමේදී ගංජා හේන්වල සිටි සැකකරුවන්ගෙන් පස් දෙනකු පලාගොස් තිබූ අතර ඒ සඳහා වනජීවී නිලධාරීන් සහය ලබා දී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලීසිය, වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
මොනරාගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ, සහකාර පොලිස් අධිකාරි මානියන්ගම යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් හා කළුතර ගුවන් හමුදා කඳවුරේ අංක 111 යූ.ඒ.වී. බළකායේ ඩ්‍රෝන මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් එක්ව වැටලීම සිදුකර තිබේ.








