ලෝක මිහිකත දිනය නිමිත්තෙන් කොමර්ෂල් බැංකුව කන්නෙලිය වනාන්තරය විද්‍යානුකූලව පුනර්ජීවනය කිරීම අරඹයි

තිරසර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, පාරිසරික කළමනාකරණයට හා සොබාදහමට හිතකර වර්ධනයක් ඇතිකිරීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුවේ තිරසර ගමනේ තවත් වැදගත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇත. ඒ ගාල්ලේ කන්නෙලිය සංරක්ෂණ වනාන්තරයේ හානි වෙමින් පවතින කොටසක් ප්‍රතිසංස්කරණය කරමිනි.

ශ්‍රී ලංකාව පුරා ඇති හානියට ලක් වූ වනාන්තර පරිසර පද්ධති පුනර්ජීවනය කිරීම වෙනුවෙන් කැපවන අභිලාෂකාමී පාර්ශවකරුවන් පිරිසකගේ ප්‍රයත්නයක් ලෙස දියත් කර ඇති ‘අපේ වනාන්තරවලට ප්‍රාණය’ (LIFE to Our Forests) වැඩසටහනෙහි කොටසක් වන මෙම මුලපිරීම, ආයතනික පාරිසරික කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී කටයුතු කරන පුද්ගලික අංශයේ පෙරමුණ ගත් සංවිධානයක් වන ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංවිධානය (BSL) සමඟ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ජාත්‍යන්තර ස්වභාව සංරක්ෂණය සඳහා වූ සංගමය (IUCN) විසින් කන්නෙලිය ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම හා ප්‍රගති සමාලෝචනය කිරීම සිදු කරනු ලබන අතර එමගින් ප්‍රතිසංස්කරණය කිරීමට අදාල කටයුතු ගෝලීය ප්‍රමිතීන් හා හොඳම භාවිතයන්ට අනුකූලව සිදු වන බව සහතික කරයි.

2026 ලෝක මිහිකත දින සැමරුමට සමගාමීව අත්සන් කළ මෙම සහයෝගීතා ගිවිසුම මගින් යුනෙස්කෝව විසින් නම් කරන ලද ජෛවගෝල රක්ෂිතයත් හා දකුණු ආසියාවේ පොහොසත් ම ශාක වගා කලාපයක් වන කන්නෙලිය වන රක්ෂිතය තුළ හානි වෙමින් පවතින වැසි වනාන්තරයේ හෙක්ටයාරයක භූමි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමට මග පාදයි. මෙම තෝරාගත් ප්‍රදේශය දැනට ඉතා ආක්‍රමණශීලී ලක්ෂණ සහිත Dicranopteris linearis (දේශීයව ‘කැකිල්ල’ ලෙස හැඳින්වේ) නම් පරාග විශේෂයකින් පිරී පවතින අතර එම කොටස් පුළුල් වු විද්‍යාත්මකව පදනම් වූ රෝපණ ක්‍රියාවලියකට භාජනය වන බව බැංකුව පවසයි.

2026 සිට 2032 දක්වා වසර හයක කාලයකට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර ලෙස ප්‍රදේශය සකස් කිරීම හා මුල් අවධියේ ප්‍රතිසංස්කරණය, ඉන්පසුව දිගුකාලීන පාරිසරික අධීක්ෂණය හා වැඩිදියුණු කිරීම යන කාර්යයන් 2026 සිට 2028 දක්වා කාලයේදී සිදු කිරීමට නියමිතයි. මෙම පුනර්ජීවනය කිරීමේ උපාය මාර්ගයට කැකිල්ල පරාග ක්‍රමානුකූලව ඉවත් කිරීම, තවාන් පිහිටුවීම, දේශීය හා පුරෝගාමී ශාක විශේෂ සිටුවීම සහ පසෙහි ගුණාත්මකභාවය හා සත්ත්ව වාසස්ථාන වල තත්වය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීම ආදී කාර්යයන් ඇතුළත් වේ. ලැව් ගිනි ඇතිවීම වැළැක්වීමට හා අඛණ්ඩ පාරිසරික අධීක්ෂණය සහතික කිරීම සඳහා වන පියවර ස්ථාපිත කිරීම මගින් ප්‍රතිසංස්කරණය කරන ලද පරිසර පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව හා තිරසරභාවය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

ඉතා වැදගත් මෙම වැසි වනාන්තර ප්‍රතිසංස්කරණය කිරීම හරහා ජෛව විවිධත්වය ඉහළ නැංවීම, ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි කිරීම, පසෙහි ස්ථායීතාව ශක්තිමත් කිරීම සහ පාරිසරික සම්බන්ධතාවයන් වැඩි කිරීම ඇතුළු දීර්ඝ කාලීන පාරිසරික ප්‍රතිලාභ ජනනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමගින් දේශගුණික විපර්යාස අවම කිරීම සහ අත්‍යවශ්‍ය ජල සම්පත් ආරක්ෂා කිරීම සඳහා ද දායක වනු ඇති අතර මෙරට වැඩිම වැදගත්කමක් ඇති ජෛව විවිධත්ව උණුසුම් කලාප වලින් එකක් මෙලෙස සංරක්ෂණය කිරීමේ පුළුල් වූ වැදගත්කම තවදුරටත් තීව්‍ර කරයි.

පාරිසරික දායකත්වයට අමතරව මෙම ව්‍යාපෘතිය මගින් අවට ප්‍රජාව තුළ සමාජ-ආර්ථික සංවර්ධනයට ද දායක වේ. ප්‍රතිසංස්කරණ හා අධීක්ෂණ කටයුතු සඳහා එම ප්‍රදේශයේ ගම්වැසියන් ශ්‍රම බලකායේ කොටසක් ලෙස සම්බන්ධ කර ගැනීමෙන් මෙම මුලපිරීම හරහා අර්ථවත් රැකියා අවස්ථා ජනනය කරන අතර එමගින් ඔවුන්ගේ ජීවනෝපාය තත්වයන් ඉහළ නැංවීමට අවශ්‍ය සහය ලබා දෙයි. මෙසේ සියල්ලන් ම අන්තර්ගත කරගත් ක්‍රමවේද හරහා වන සංරක්ෂණ කිරීමේ ප්‍රයත්නයන්, ප්‍රජා සංවර්ධනය සමඟ ද සමීපව සම්බන්ධ වන බවට සහතික කරන අතර, එමගින් ප්‍රජාව තුළ හිමිකාරීත්වය පිළිබඳ හැඟීමක් ද ඇති කරමින් කලාපයට දිගුකාලීන සමාජයීය හා ආර්ථිකමය ප්‍රතිලාභ ලබා දෙයි.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලු‍ම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.