ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා සමුගනී

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමියෙකු මෙන්ම ආන්දෝලනාත්මක සහ අතිදක්ෂ ලේඛකයෙකු වූ බී. ඒ. ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ.

1940 වසරේ පෙබරවාරි මස 02 වැනිදා කැලණියේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී උපත ලැබූ ටෙනිසන් පෙරේරා මහතා,මියයන විට 86 වැනි වියේ පසුවිය.

හෙතෙම සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලැබුවේ රජයේ මුද්‍රණාලයේ ආධුනිකයෙකු වශයෙනි. එකල පුවත්පත් සහ සාහිත්‍ය කලාව වෙත යොමු වූ ඔහු, කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ නියෝජනය කරමින් වාමාංශික දේශපාලනයෙහි ද සක්‍රීයව නිරත වූ චරිතයකි. ඔහුගේ මෙම මුල් කාලීන වාමාංශික දේශපාලන පසුබිම, පසුකාලීනව ඔහුගේ නිර්මාණ හරහා සමාජීය හා ආගමික ආන්දෝලනයන් ඇති කිරීමට ප්‍රබල බලපෑමක් එල්ල කළේය.

ටෙනිසන් පෙරේරා මහතා කෙටිකතා, නවකතා සහ පරිවර්තන ඇතුළුව ටෙනිසන් පෙරේරා විසින් රචිත කෘති සංඛ්‍යාව 100 කට අධිකය.

1958 වසරේදී “උත්තරීතර සඳඑළිය” නමැති කෘතියෙන් සිය සාහිත්‍ය ගමන ආරම්භ කළ ටෙනිසන් පෙරේරා මහතා, “දුට්ඨගාමිණී නොමළ වගයි”,සක්වළ දඩයම,එකොළොස් ගිනි,දණ්ඩභූමි,සසර දිගන්තය යන ඇතුළු තවත් බොහෝ කෘති රචනා කළේය.

ඔහුගේ ලේඛන දිවියේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වන්නේ 1967 වසරේදී රචනා කළ “දැති රෝදෙන් උපන් බුදුන්” නමැති කෙටිකතා සංග්‍රහයත් සමගිනි.

කාර්මික බුදුවරයෙකුගේ අවශ්‍යතාවය යෝජනා කරමින් ධනේශ්වර සමාජය සහ ආගමික ආයතන විවේචනයට ලක් කළ එම කෘතියෙන් බුදු දහමට අපහාස වන බව පවසමින් බෞද්ධ සමිති සම්මේලනය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, රජය විසින් එම ග්‍රන්ථය තහනම් කරන ලදී.

එය ශ්‍රී ලංකාවේ තහනමට ලක්වූ ප්‍රථම ග්‍රන්ථය ලෙස ඉතිහාසයට එක්වන අතර, ඒ හේතුවෙන් පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) මූලස්ථානය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීම්වලට ද ලක් කළේය. කෙසේ වෙතත්, අදාළ කෘතිය පසුකාලීනව නැවත මුද්‍රණය කර ප්‍රකාශයට පත් කෙරිණි.

ඔහු විසින් රචිත “භවාන්තරය” සහ “අබිරහස් ජීවිත තරණය” යන කෘති ස්වර්ණ පුස්තක සම්මානය සඳහා ද නිර්දේශ වී තිබේ.

ටෙනිසන් පෙරේරා මහතා නව සාහිත්‍ය ප්‍රවණතා ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට මුල්වූ ලේඛකයින් අතර ඉදිරියෙන්ම සිටි අයෙකු විය.