‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ (SriLankan Airlines) ආයතනයේ නාමය අවභාවිත කරමින් වට්ස්ඇප් (WhatsApp) ගිණුම් හරහා සිදු කරනු ලබන සංවිධානාත්මක මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය නිවේදනය කරයි.
මෙම වංචාව සිදු කරනු ලබන්නේ අදාළ ආයතනයේ සේවාවක් බව අඟවමින් පුද්ගලයන් සම්බන්ධ කරගෙන, ‘SriLankan.apk’ නමැති ව්‍යාජ ජංගම දුරකථන යෙදුමක් (App) ස්ථාපනය කිරීමට සැලැස්වීම හරහාය. මෙම යෙදුම ස්ථාපනය කිරීමෙන් පසු ජංගම දුරකථනයට දුරස්ථව ප්‍රවේශ වීමේ (Remote Access) අවසරය අනිසි ලෙස ලබා ගන්නා බවත්, එය භයානක ‘බැංකු ට්‍රෝජන්’ (Banking Trojan) මෘදුකාංගයක් බවත් පොලිසිය පෙන්වා දෙයි.
මේ හරහා පුද්ගලයන්ගේ සංවේදී දත්ත නිරාවරණය කර ගන්නා වංචාකරුවන්, බැංකු ගිණුම් තොරතුරු, OTP කේත සහ සත්‍යාපන දත්ත සොරකම් කරමින් බැංකු ගිණුම්වල ඇති මුදල් වෙනත් ගිණුම් වෙත වංචනිකව බැර කර ගනී.
මෙම වංචාව සඳහා 077 45 58 361, 011 77 71 979, 074 11 42208, 077 57 91 209 සහ 074 32 68 200 යන දුරකථන අංක භාවිත කරන බවට නිරීක්ෂණය වී තිබේ. ක්ෂණික මූල්‍ය වාසි ලබා දෙන බව පවසමින් සිදු කරන මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසත්, නිල නොවන මූලාශ්‍ර හරහා ලැබෙන සබැඳි (Links) මගින් කිසිදු යෙදුමක් ජංගම දුරකථනයට ස්ථාපනය නොකරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.








