ශ්‍රී ලංකාවේ නව පකිස්තාන මහ කොමසාරිස් සහ කථානායක අතර හමුවක්

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් (Nayyar Naseer) මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී හමු විය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ පකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ් (Zunaira Latif) මහත්මිය සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.

ශ්‍රී ලංකාව වැනි සංස්කෘතික උරුමයෙන් පොහොසත් හා මිත්‍රශීලී රාජ්‍යයක ප්‍රථම වරට මහ කොමසාරිස්වරයකු ලෙස රාජකාරියෙහි නිරත වීමට ලැබීම ඉමහත් සතුටක් හා ගෞරවයක් බව ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය. දශක ගණනාවක් තිස්සේ දෙරට අතර පැවතෙන දීර්ඝ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඵලදායී මට්ටමකට ගෙනයාමට තමන් කැපවී සිටින බවද අභිනව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ගරු කථානායකවරයා, අභිනව පකිස්තාන මහ කොමසාරිස්වරයාට සිය සුබපැතුම් එක් කරමින්, ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම අර්බුදකාරී අවස්ථාවකදීම අඛණ්ඩව ලබාදුන් සහාය සම්බන්ධයෙන් පකිස්තාන රජයට හා ජනතාවට කෘතඥතාව පළ කළේය. රටේ යුධමය අර්බුදයේ සිට “දිට්වා” සුළිකුණාටුව ඇති කළ ව්‍යසනකාරී ස්වාභාවික විපත දක්වා වූ විවිධ අවස්ථාවන්හිදී පකිස්තානය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය, සැබෑ මිත්‍රත්වයේ ප්‍රකාශනයක් ලෙස ගරු කථානායකවරයා කෘතවේදීව සිහිපත් කළේය.

වර්තමාන ජාත්‍යන්තර සන්දර්භය තුළ ගෝලීය සමගිය ඇති කිරීම උදෙසා පකිස්තානය ක්‍රියාශීලී මැදිහත්කරුවකු ලෙස ඉටු කරමින් සිටින වැදගත් කාර්යභාරය ගරු කථානායකවරයා විශේෂයෙන් ඇගයීමට ලක් කළේය. එමෙන්ම ශ්‍රී ලංකා – පකිස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම තුළින් දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉඩකඩ සැලසී ඇති බවද ගරු කථානායකවරයා අවධාරණය කළේය.

එමෙන්ම ගන්ධාර කලා නිර්මාණයට අයත් පකිස්තානයේ ලාහෝර් කෞතුකාගාරයේ තැන්පත්ව පවතින බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව නිරූපණය කරන ප්‍රතිමාවහන්සේ (Fasting Buddha Statue) ශ්‍රී ලාංකික සැදැහැවතුන් හට දැකබලා වන්දනා කිරීමට අවස්ථාව සලසා දීම පිණිස, මෙරටට වඩම්මවා ගැනීම සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් සිදු කළේය.

සුන්දර ස්වාභාවික පරිසරයකින් හා සංග්‍රහශීලී ජනතාවකින් සමන්විත ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. එමෙන්ම නවීන තාක්ෂණය ඇසුරු කරගත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පකිස්තානය සතු අත්දැකීම් හා දැනුම ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට සූදානම් බවද පකිස්තාන මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තවද මෙහිදී ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමුවී සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී දෙපාර්ශ්වය විසින් ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්හ. දෙරට අතර අධ්‍යාපන ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් ව්‍යාප්ත කිරීම පිළිබඳවද මෙම සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා මෙම සංචාරයේදී පාර්ලිමේන්තුවේ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද හමුවී සුහද සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති විය.

“දිට්වා” සුළිකුණාටුව ඇති කළ ව්‍යසනකාරී ස්වාභාවික විපත අවස්ථාවේ පකිස්තානය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය වෙනුවෙන් අමාත්‍යවරයා සිය ගැඹුරු කෘතඥතාව පළ කළේය. පසුගිය වසරේ පකිස්තානයේ පැවැති කලාපීය ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වූ අත්දැකීම සිහිපත් කළ ගරු අමාත්‍යවරයා, 2028 වසර අවසාන වන විට මෙරටේ යෝජිත අධිවේගී මාර්ග ජාලයේ සියලු ඉදිකිරීම් කටයුතු නිමා කර ජනතා අයිතියට පත් කිරීමට සැළසුම් කොට ඇති බවද අවධාරණය කළේය.

දෙරටේ ආයෝජන අවස්ථා හා සංචාරක කර්මාන්තය සංවර්ධනය සඳහා ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග මෙන්ම පාර්ලිමේන්තු හා පළාත් පාලන මට්ටමේ ජනතා නියෝජිතයන් අතර අත්දැකීම් හුවමාරු වැඩසටහන් ආදී ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම හමුවේදී විශේෂ අවධානය යොමු විය.