මුදල් ඔස්ට්‍රේලියාවට ගියාදැයි සැක
මහා භාණ්ඩාගාරයෙන් පැමිණිල්ලක්
ණය පියවීමක් ලෙස මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරයකු විසින් සොරාගැනීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහ භාණ්ඩාගාරයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය. මෙම මුදල හැකර්වරයා විසින් ඔස්ට්‍රේලියාවේ ගිණුමක් ඔස්සේ හැක්කර ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඔස්ට්‍රේලියාවේ සහාය ලබාගැනීමට ද අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය මූලික කටයුතු පවා ආරම්භකර තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමකදී අමෙරිකානු ඩොලර් මිලි. 2.5ක මෙම මුදල සොරාගෙන ඇති බව පෙනී ගොස් තිබේ.මෙම සිදුවීම කෙසේ සිදු වූයේද යන්න සහ එහි වගකීම පිළිබඳ සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය මඟින්ද විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශ තොරතුරු සඳහන් කළේය.
මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවීමේදී එම මුදල් අදාළ පාර්ශ්වය වෙත නොලැබී පරිගණක හැකර්වරයකු හෝ තුන්වැනි පාර්ශ්වයක් අතට ලැබීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයිද එම තොරතුරු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවෙන් ඉල්ලා ඇති බව ද සඳහන්ය.
ගයාන් කුමාර වීරසිංහ








