2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ 1.59% ක වර්ධනයක්

2026 වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, එම වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4,308.11 ක් ලෙසයි ඇස්තමේන්තු කර ඇත.

එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 1.59 ක වර්ධනයකි.

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත වලට අනුව, 2026 මාර්තු මාසයේදී භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,467.31 ක් වූ අතර, එය 2025 මාර්තු මාසයට සාපේක්ෂව 5.2% ක වාර්ෂික පහත වැටීමකි.

නමුත් එය පෙබරවාරි මාසයේ අපනයන ආදායමට (1346.2) සාපේක්ෂව 9.0%ක මාසික වර්ධනයකි.

එම මාසයේ අපනයන කාර්ය සාධනය පිළිබඳ වැඩිදුර විස්තර සලකා බැලීමේදී, භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,180.36 ක් වූ අතර එය 4.94% ක අඩුවීමක් සිදුව තිබේ.

එසේම සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 286.92 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 6.26% ක පහත වැටීමකි.

මේ පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා කියා සිටියේ,

“2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,467.31 ක් දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කළද, පළමු කාර්තුව තුළ අපනයන අංශයේ පවතින ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය සමස්ත ක්‍රියාකාරිත්වය මගින් මනාව පිළිබිඹු වනවා .

2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ වාර්තා වූ වර්ධනය මගින් ගෝලීය වෙළඳපළ තත්ත්වයන් හමුවේ සාර්ථකව ඉදිරියට යාමට අපනයන අංශයට ඇති හැකියාවයි පෙන්නුම් කරන්නේ.

ප්‍රධාන අපනයන අංශ සඳහා පවතින අඛණ්ඩ ඉල්ලුම සේවා අපනයන ක්‍රමයෙන් ශක්තිමත් වීම සහ දැනට ක්‍රියාත්මක වන අපනයන ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ ප්‍රයත්නයන් මීට ඉවහල් වී තිබෙනවා.

අනාගතය දෙස බලන විට අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාව (EDCM) විසින් ගැනීමට නියමිත ප්‍රතිපත්තිමය තීරණ මාලාවක් මගින් අපනයන පද්ධතිය තවදුරටත් ශක්තිමත් වනවා.

වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම, නියාමන ක්‍රියාවලීන් විධිමත් කිරීම, වෙළඳපොළ විවිධාංගීකරණයට සහාය වීම සහ අපනයනකරුවන් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීම වැඩිදියුණු කිරීමේ පියවර මීට ඇතුළත් වනවා.”

මෙම උපායමාර්ගික මැදිහත්වීම් සහ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් සමග අපනයන වර්ධන වේගය පවත්වා ගැනීමට සහ 2026 වසරේ වාර්ෂික අපනයන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව මනාව සූදානම්ව සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.