අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ “EduCycle” ඇරඹේ

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් තුළ තිරසාර පාරිසරික පුරුදු වර්ධනය කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය සහ Neptune Papers ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ” EduCycle” අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කෑගලු විද්‍යාලයේදී ආරම්භ විය.

2025 ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය මගින් සිදු කරන ලද ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර දීප ව්‍යාප්තව කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙල, ප්ලාස්ටික් අපද්‍රව්‍ය විධිමත් ලෙස ප්‍රතිචක්‍රීකරණය කරමින් හරිත පරිසරයක් මතු පරපුර සදහා තිළිණ කිරීම සදහා අවශ්‍ය පදනම සකසනු ලබයි.

මෙම අභිවෘද්ධික කාර්යය සඳහා පරිසර අමාත්‍යාංශය සහ Neptune Papers ආයතනය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් ද අද දින අත්සන් තැබිණි. මෙම වැඩසටහන ඔස්සේ අපද්‍රව්‍ය කලමණාකරනය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික පහසුකම් සලසනු ඇත. සමාරම්භක උත්සවය ඇමතූ ගරු අමාත්‍යතුමා අවධාරණය කළේ, වර්තමාන පරපුර පාරිසරික අභියෝගයන් හමුවේ වගකීමෙන් කටයුතු කිරීම අනාගත පරපුරේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් බවයි.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් පරිසරයට සිදුවන බලපෑම් සහ වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනාකරණ පුරුදුවල ඇති වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් අතර දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණයි. තවද, PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ මුලපිරීම් හරහා පාසල් තුළ ප්‍රායෝගික ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම, පරිසර ආරක්ෂණය සහ තිරසාරභාවයට අදාළ ක්‍රියාකාරකම් සඳහා සිසුන්ගේ සක්‍රීය දායකත්වය දිරිමත් කිරීම මෙන්ම පරිසර අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, නෙප්චූන් පේපර්ස් (Neptune Papers) ආයතනය සහ සහභාගී වන පාසල් අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම මෙම ගිවිසුම මගින් තවදුරටත් අපේක්ෂා කෙරේ.

පරිසර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී සාගරිකා අතාවුද මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා, Neptune Papers ආයතනය නියෝජනය කරමින් එම ආයතනයේ ප්‍රධානීන්, පරිසර අමාත්‍යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්, කෑගලු විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් සහභාගී වූහ.

ප්ලාස්ටික් භාවිතය අවම කිරීමත් ඒවා නිසි පරිදි කලමණාකරනය කරමින් ප්‍රතිචක්‍රීකරණය සිදු කිරීම සදහාත් නව රජයේ පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රායෝගික වැඩසටහන් බොහොමයක් සිදු කරනු ලබන අතර EduCycle වැඩසටහන ද ඒ සදහා මං විවර කරන සාර්ථක වැඩසටහනක් වනු ඇත.