ආශා බෝස්ලේ වෙනුවෙන් IPL පිටිය නිහඬවෙයි

ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේගේ අභාවය වෙනුවෙන් IPL පිටියේදී ශෝකය පළකරමින් නිහඬතාවයක් පැවැත්වුණා.

ඒ අද (12) පැවැත්වෙන Mumbai Indians සහ Royal Challengers Bengaluru කණ්ඩායම් අතර තරගයේදීයි.

දශක 8කට වැඩි කාලයක් ගීත 12,000කට වැඩි සංඛ්‍යාවකින් බොලිවුඩයේ පමණක් නොව ලොව පුරා රසික සවන් පිනවූ ආශා බෝස්ලේ අද සිය දිවිසැරිය නිමා කළා.

ඉන්දීය රජයෙන් පිරිනමන දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂන් සම්මානයෙන් ද පිදුම් ලබා ඇති ඇය, හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය 7 වරක් දිනා තිබීමත් විශේෂත්වයක්.

1933 වසරේ සැප්තැම්බර් 8 වැනිදා ඉන්දියාවේ මුම්බායි හි සංගීත හා නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ මංගේෂ්කාර් පවුලේ දියණියක ලෙස උපත ලැබූ ආශා බෝස්ලේ හින්දි සිනමාවේ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨතම පසුබිම් ගායන ශිල්පිනියක වූ ලතා මංගේෂ්කාර්ගේ සොයුරියක්.

1943 වසරේදී සිය පළමු මරාති ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට අත්පොත් තැබූ ඇගේ ගායන ජීවිතයේ පෙරළියක් ඇති කළේ 1957 වසරේදී නායා දවුර් චිත්‍රපටයේ ගීතවලට පසුබිම් හඬ සැපයීමත් සමගයි.

භාෂා ගණනාවක් හැසිරවීමේ කුසලතාවකින් හෙබි ආශා බෝස්ලේ ගීත 12,000කට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර 2011 වසරේදී ගිනස් වාර්තාවකට ද ඇය එක්වුණේ ලොව වැඩිම වාරයක් ශබ්දාගාර පටිගත කිරීම් සිදු කළ ගායිකාව ලෙසයි.

ඇය ගායනා කළ චුරා ලියා හේ තුම්නේ ජෝ දිල් කෝ, පියා තු අබ් තු ආජා, දම් මරො දම්, යේ ලඩ්කා හායේ අල්ලා, ඉන් ආකෝ කි මස්ති වැනි ගීත රසිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා.

ජනාදරයට පත් ආශා බෝස්ලේගේ මිහිරි හඬ ශ්‍රී ලාංකික රසිකයින්ට ද සජීවීව රස විඳීමට 2009 වසරේදී අවස්ථාවක් හිමි වුණා.

සිය මියුරු හඬින් ඉන්දියාවට අත්කර දුන් කීර්තිය අගයමින් ඉන්දීය රජය විසින් ඇයට 2008 වසරේදී පද්ම විභූෂණ් සම්මානය ද පිරිනැමුවා.

පද්ම විභූෂණ් සම්මානය යනු භාරත් රත්න සම්මානයට පසු එරට සිවිල් පුරවැසියෙකුට පිරිනමන දෙවැනි ඉහළම ඇගයීමයි.

සිය මියුරු හඬ සදහටම නිහඬ කරමින් 92 හැවිරිදි ආශා බෝස්ලේ අද අභාවප්‍රාප්ත වුණේ මුම්බායි හි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයී.

පෙනහළු සංකූලතාවයක් සහ හෘදයාබාධයක් හේතුවෙන් ඇයගේ මරණය සිදුව ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.