උත්සව සමයේ සිදු කරනු ලබන විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන එළඹෙන අප්‍රේල් 30 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ පාරිභෝගිකයින් අපහසුතාවයට පත් කිරීම් සම්බන්ධයෙන් වැටලීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා,
“උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සිදු කරන විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහන අපි අප්‍රේල් 30 වන දින දක්වා ක්‍රියාත්මක කරනවා. මේ වැඩපිළිවෙල යටතේ අපි විශේෂයෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීම, ඒ වගේම වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, ඒ වගේම පාරිභෝගිකයින් වෙළෙඳපොළ තුළදී විවිධාකාර අපහසුතාවයන්ට පත් කිරීම සහ පාරිභෝගිකයින් අසාධාරණයට ලක් කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු අපේ නිලධාරීන් සිදු කරනු ලබනවා”
“පාරිභෝගිකයින් වෙළෙඳපොළේ යම්කිසි විදියකට අසාධාරණයට ලක් වීමක් හෝ ගැටලුවක් තියෙනවානම් ඒ සම්බන්ධව දැනුම්දෙන්න කාර්යාල වෙලාවන්හිදී පාරිභෝගිකයින්ට පුළුවන්. පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 කියන කෙටි දුරකතන අංකයට කතා කරලා එම තොරතුරු ලබා දෙන්න. ඒ අනුව නිලධාරීන් ඒ සම්බන්ධව අවශ්‍ය මැදිහත්වීම කරනවා”








