අපරීක්ෂාකාරී ලෙස රිය පදවන වීඩියෝ ලබාදීමට පොලිසියෙන් WhatsApp අංකයක්

අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රථවාහන ධාවනය කිරීමේ සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන යොමු කිරීම සඳහා මහජනතාව වෙත නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දීමමට පොලිස් මුලස්ථානය කටයුතු කර තිබේ.

නූතන සමාජය තුල මහජනතාව ඉතා බහුල ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීමට යොමුවී ඇති ප්‍රවණතාවය මත දෛනික ජීවිතයේදී සිදුවන විවිධ සිදුවීම් වීඩියෝගතකර සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීම සිදු කරනු ලබයි.

මේවා අතරින් මහා මාර්ගයේ අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස ධාවනය කරනු ලබන රථවාහන සම්බන්ධ සිදුවීම් වලට අදාල වීඩියෝ දර්ශන ඇතැමුන් වීඩියෝ ගතකර ශ්‍රී ලංකා පොලිසිය වෙත යොමු කරන බවට නිරීක්ෂණය වී ඇත.

මහා මාර්ගයේ ගමන් කරනු ලබන අනෙකුත් මාර්ග පරිශීලකයන්ගේ ආරක්ෂාව පිළිබඳව නොසැලිකිලිමත්ව අනවධානයෙන් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලමින් අධික වේගයෙන් රිය ධාවනය, අනාරක්ෂිත ලෙස අනෙකුත් වාහන වලට ඉස්සර කිරීම (උදාහරණ – තනි රෝදයෙන් හෝ එක් අතකින් පමණක් අපරික්ෂාකාරී අන්දමින් රථ වාහන ධාවනය කිරීම, අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයට පිවිසිම) වැනි සිදුවීම් වලට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා පොලිසිය වෙත යොමු කිරීම තුලින් ඊට සම්බන්ධ සැකකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉතා කඩිනමින් අත්අඩංගුවට ගෙන මේ වන විටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වී තිබෙන අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත ස්තුතිය පුද කර තිබේ.

මෙම තත්ත්වය තවදුරටත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමේ සිදුවීම් වලට අදාල වීඩියෝ දර්ශන යොමු කිරීම සඳහා අංක 070-4755600 දරන WhatsApp දුරකථන අංකය හඳුන්වා දෙනු ලබන අතර, මෙම අංකය රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සමීප අධීක්ෂණයෙන් යුක්තව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන අංකයකි.

අන්තරාදායක හා අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධ සිදුවීම් නිරීක්ෂණය වූ විට එය වීඩියෝගත කිරීමට හැකි සෑම විටකම සිදුවීම සිදු වූ දිනය, ස්ථානය හා පොලිස් වසම සඳහන් කර මෙම WhatsApp දුරකථන අංකයට අදාළ වීඩියෝ දර්ශනය යොමු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

මෙහි දී, කෘත්‍රීම බුද්ධිය (AI) ඔස්සේ සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන මෙම අංකය වෙත යොමු නොකරන ලෙසත් අන්තරාදායක හා අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරනු ලබන රියැදුරන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර රථ වාහන වැරදි අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල වෙත මහජනතාවගේ සක්‍රීය දායකත්වය ලබාදෙන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.