නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කර තිබේ.
මියයන විට ඇය 92 වියෙහි පසුවිය.
හෘදයාබාධ තත්ත්වයක් සහ ස්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ මුම්බායි හී රෝහලක් වෙත ඇතුළත් කෙරුණි.
ඒ අනුව ඊයේ රාත්රියේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති ඇය අද (12) උදෑසන මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පවුල් පසුබිම
ඇය 1933 දී උපත ලැබුවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ “සංග්ලි” (Sangli) ප්‍රදේශයේ සංගීතයට ලැදි මංගේෂ්කාර් පවුලේය.
ඇයගේ පියා ප්‍රවීණ මරාති සංගීත ශිල්පියෙකු සහ නළුවෙකු වූ පණ්ඩිත් දීනානාත් මංගේෂ්කාර ය. ඇයට වයස අවුරුදු 9ක් වන විට ඇයගේ පියා අභාවප්‍රාප්ත විය.
ඇය ලෝක ප්‍රකට ගායිකා ලතා මංගේෂ්කාර්ගේ බාල සහෝදරියයි.
වයස අවුරුදු 9 දී ගායනයට පිවිසි ඇය, සිය සහෝදරියගේ සෙවණැල්ලෙන් මිදී තමාටම ආවේණික වූ හඬක් සහ විලාසයක් නිර්මාණය කර ගත්තාය.
ගායන දක්ෂතාවය
ඕනෑම පන්නයක ගීතයක් ගැයීමේ පුදුමාකාර හැකියාවක් ඇයට තිබුණි. ආදරණීය ගීත, වේග රිද්ම ගීත ශාස්ත්‍රීය ගීත මෙන්ම ‘ඝසල්’ ගීත ද ඇය එකසේ දක්ෂ ලෙස ගායනා කළාය.
ගෞරව සම්මාන
ලොව වැඩිම චිත්‍රපට ගීත සංඛ්‍යාවක් පටිගත කළ ගායිකාව ලෙස ද ඇය වරෙක ගිනස් වාර්තාවට හිමිකම් කීවාය.
ඇයගේ සේවය අගයමින් ඉන්දියානු රජය මගින් ඉහළම ගෞරව නාමයන් පිරිනමා ඇත.
පද්ම විභූෂණ (Padma Vibhushan) – ඉන්දියාවේ දෙවැනි ඉහළම සිවිල් සම්මානය.
දඩාසහේබ් පාල්කේ (Dadasaheb Phalke) සම්මානය – සිනමාවට කළ සේවය වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය.
හොඳම පසුබිම් ගායිකාව සඳහා වන ෆිල්ම්ෆෙයාර් (Filmfare) සම්මානය 7 වතාවක් ඇය දිනා ගෙන තිබේ.








