කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්රධානත්වයෙන් අද (09) පෙරවරු 8.00 ආරම්භ කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 2ක වියදමින් මෙහි කටයුතු නවීකරණය කෙරේ. කොටුව දුම්රිය ස්ථානයේ පවතින පෞරාණිකත්වයට හානියක් නොවන අයුරින් සිදු කෙරෙන නවීකරණය කටයුතු මාස 15ක් තුළ අවසන් කිරීමට නියමිතය.
මෙහිදී මගීන්ට නවීන පහසුකම් සපයා දෙමින් නවීකරණ කටයුතු සිදු කෙරේ. මගී පාලම් දෙකක්, විදුලි සෝපාන, නවීන වැසිකිළි, නැවතී සිටීමේ ස්ථාන, නවීන ආපණශාලා ඇතුළු පහසුකම් ගණනාවක් ස්ථාපිත වනු ඇත.
දුම්රිය මගී ජනතාවට වඩාත් සුවපහසු ගමනාගමන සේවයක් ලබාදීමේ අරමුණින් මෙම නවීකරණ කටයුතු සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සුභාෂිණී සේනානායක








