අලුත් අවුරුද්දට ජනතාවට ගම්බිම් බලා යෑමට ඇති තරම් බස් රථ සහ දුම්රිය යොදා ඇතැයි ප්‍රවාහන බලධාරීහු පවසති. ගම්බිම් බලා යන සහ ගම්බිම්වල සිට නැවත කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් අමතර බස් රථ 1500ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා සඳහන් කළේය.
අද (09) සිට ලබන 13 දක්වා කොළඹින් බැහැරට යෑමටත් 15 දා සිට 21 දක්වා කොළඹට පැමීණීමටත් මෙම අතිරේක බස් රථ යොදවා ඇතැයි ද ඒ මහතා කීය.
පළාත් 9 ම කේන්ද්‍ර කරගනිමින් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කරගෙන අමතර බස් ඇණි ගමනාගමන කටයුතු සඳහා යොදා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේය.
සාමාන්‍ය දුම්රිය ගමන් වාරවලට අමතරව මගී ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය රැසක් යොදා ඇතැයි දුම්රිය ධාවන අධිකාරි අසංග සමරසිංහ මහතා කියා සිටියේය.
මෙම කාලය තුළ ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව කී ලංගම සභාපතිවරයා චාරිකා සඳහා බස් රථ දීම මෙම කාලය තුළ අත්හිටුවා ඇතැයිද කියා සිටියේය.
එමෙන්ම මෙම කාලය තුළ මගී ජනතාවට දුම්රිය පිළිබඳ පැමිණිලි සහ විමසීම් සඳහා දුරකතන අංක 1971 ද ලංගම සඳහා පැමිණිලි සහ විමසීම් සඳහා දුරකතන අංක 1958 ද පෞද්ගලික බස් රථ විමසීම් සඳහා 1955 දුරකතන අංක අමතන ලෙස ද ප්‍රවාහන බලධාරීන් ඉල්ලා සිටියි.
අලුත් අවුරු සමය වෙනුවෙන් මගී ජනතාව ලක්ෂ දෙකහමාරත්, තුනත් අතර පිරිසක් සිය ගම්බිම් බලා පිටත්ව යෑමට සහ නැවත පැමිණීමට නියමිතව ඇත. ඒ අයගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා දෛනික බස් රථවලට අමතරව බස් රථ යොදවා ඇතැයිද ප්‍රවාහන බලධාරීහු කීහ. ප්‍රවාහන බලධාරීහු මේ බව කියා සිටියේ ඊයේ (08) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙම අවස්ථාවට එක් වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ මහතා,
“ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පළාත් 9 තුළ පිහිටුවා ඇති මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සම්බන්ධ කරගනිමින් අලුත් අවුරුදු සේවාව සඳහා බස් යොදා තිබෙනවා. සුරක්ෂිත ප්‍රවාහන සේවයක් ඇති කරලමින් හොඳ සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා පොලීසියේ සහය ලබා ගන්නවා. බැස්ටියන් මාවත, නිට්ටඹුව, මතුගම, පිළියන්දල, හොරණ, කඩුවෙල, බියගම ඇතුළු නගරවලින් ඈත පළාත්වලට බස් සේවා යොදා තිබෙනවා.
තම ගමනාන්තයට යෑමට කොළඹට පැමිණීමටම අවශ්‍ය නැහැ. පෙරවරු 5.00 සිට රාත්‍රි 11.00 දක්වා බස් සේවා ක්‍රියාත්මකයි. නැවත පැමිණීමේදී ආසන ධාරිතාව ප්‍රතිපූර්ණය කිරීමට අපි බලාපොෙරාත්තු වෙනවා. ප්‍රථමවරට බැස්ටියන් මාවත සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනයට එක් කර තිබෙනවා. බස් ගාස්තු වැඩිපුර අය කිරීම්, ඉතිරි මුදල් නොදීම් ඇතුළු ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අධීක්ෂක කණ්ඩායම් යොදා තිබෙනවා.”
දුම්රිය ධාවන අධිකාරි අසංග සමරසිංහ මහතා,
“අලුත් අවුරුද්ද වෙනුවෙන් දෛනිකව ධාවනය කෙරෙන දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවා යොදා තිබෙනවා. ගම්බිම්වලට යෑමට සහ නැවත පැමිණීමට විශේෂ දුම්රිය රැසක් යොදා තිබෙනවා. දිට්වා සුළි කුණාටුවෙන් පසුව අවලංගු කර තිබූ උතුරු දුම්රිය මාර්ගය ධාවන කටයුතු අද සිට ක්‍රියාත්මකයි. ඉදිරියේදී වැඩ අවසන් වීමට තිබූ මෙම දුම්රිය මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කර මගී ජනතාවට අවශ්‍ය ගමනාගමන කටයුතු සඳහා ලබා දීමට අපිට හැකි වුණා.
අද සිට ඉදිරියට එම දුම්රිය දෛනිකව ධාවනයට එක් කෙරෙනු ඇති. උඩරට මාර්ගයේ රඹුක්කන දක්වා පමණක් ධාවනය කෙරෙන අතර නාවලපිටිය සිට හැටන් දක්වා පාසල් සිසුන් වෙනුවෙන් ධාවනයට එක් කර තිබූ දුම්රිය මෙම කාලය තුළ දෛනිකව ධාවනයට එක් කර තිබෙනවා.”
සුභාෂිණී සේනානායක








