රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙරවරු 8.00 සිට පැය 48 ක කාලයක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තම සංගමය සමඟ එකඟ වූ කොන්දේසි කඩ කරමින් අදාළ පත්වීම් ලබා දීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.
ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු බවත්, එම සාකච්ඡාව අවසන් වන තෙක් ප්‍රශ්නගත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ලැයිස්තුව ප්‍රකාශයට පත් නොකර අත්හිටුවිය යුතු බවට එකඟතාවක් තිබුණු බවත් එම සංගමය පෙන්වා දෙනවා.
එහෙත්, අදාළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවත්, සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන පසුබිමක එම විශ්වාසය අමු අමුවේ කඩ කරමින් සිදු කළ මෙම ක්‍රියාව පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.








