මෙරට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක් ලක්ෂ හතර පනී

ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉහළ යෑම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ මෙරට රන් මිල අද (08) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සමස්ත ලංකා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් ප්‍රකාශ කළේ, පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති බවයි.

ඒ අනුව අද දින වාර්තා වූ රන් මිල ගණන් පහත පරිදි සඳහන්.

කැරට් 24 රන් පවුමක්: රුපියල් 405,000 (ඊයේ මිල රු. 398,000 ක්)

කැරට් 22 රන් පවුමක්: රුපියල් 372,600 (ඊයේ මිල රු. 366,000 ක්)

රන් මිල මෙලෙස ඉහළ යෑම ස්වර්ණාභරණ මිල කෙරෙහි ද සෘජුව බලපා තිබෙනවා.

මේ අනුව රන් පවුමක බරින් යුත් මාලයක මිල රුපියල් 425,000 දක්වාත්, වළල්ලක මිල රුපියල් 435,000 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව, මංගල මුදු මිල ද රුපියල් 20,000කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රන් මිල ඉහළ යාමත් සමග දිවයින පුරා පවත්වාගෙන යනු ලබන රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන ද රන් පවුමක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් මුදල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.