අලුත් සහල් මංගල්‍ය හෙට (09) ජනපති ප්‍රධානත්වයෙන්

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 8 සහ 9 දෙදින ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි. හෙට (09) උදෑසන 8.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මංගල්‍යයේ ප්‍රධාන කටයුතු ආරම්භ වනු ඇත.

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ලබාගත් මහා කන්නයේ අස්වැන්නෙන් වෙන් කළ අග්‍ර ඵලය හෙවත් අලුත් සහල් පාත්‍ර, පෙරහැරෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට ගෙන යාමත්, අලුත් සහලින් පිසූ කිරි ආහාර සහ කිරිබත් පූජා කිරීමද සිදු කෙරේ. මෙහිදී කාලානුරූපී වැසි ලබා දෙන ලෙසත්, වගා හානිවලින් තොර සරුසාර අස්වැන්නක් ලැබෙන ලෙසත්, සොබාදහමට සහ දෙවියන්ට කෘතඥතාව පළ කිරීමද සිදු වේ.

උත්සවයට සමගාමීව ගම් මට්ටමින් “මුල් බත් බෙදීම” සහ නිවෙස්වල සෞභාග්‍යය සඳහා කිරි ඉතිරවීමේ වැඩසටහන් පැවැත් වේ.

මෙම උත්සවය අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක හිමි ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. ඌරු වරිගේ වන්නිලා ඇත්තන් විසින් පාරම්පරික මී පැණි පූජාවද මෙවර සිදු කෙරේ.

පාරම්පරික වී වගා කරන ගොවීන් සඳහා ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව පාරම්පරික වී ලබාදීම සහ දක්ෂතම ගොවීන් තිදෙනෙකුට සම්මාන පිරිනැමීමද සිදු කෙරේ. අවසානයේ ජනාධිපතිතුමා අතින් ජය ශ්‍රී මහා බෝධියට රිදී කාසි හා පිරිකර පූජා කිරීම සිදු වී, අප්‍රේල් 9 දා දහවල් භික්ෂූන් 50 දෙනාට දානය පිරිනැමීමෙන් 59 වන ජාතික අලුත් සහල් මංගල්‍යයේ කටයුතු නිම වේ.