උත්සව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ නොදමන බවත් වෙෙළඳපොළේ භාණ්ඩවල මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ වසන්ත සමරසිංහ මහතා,
“මේ මැදපෙරදිග යුද්ධය ඇතිවූ අවස්ථාවේ ඊට මුහුණ දෙන්න අමාත්‍ය මණ්ඩලය සහ රජය ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 500ක් අය-වැයට පිටින් වියදම් කරන බව රජය ප්‍රකාශ කර තිබෙනවා. රාජ්‍ය ආදායම අනුව රුපියල් බිලියන 1500ක් දක්වා වෙන් කරන්න හැකිව තිබෙනවා. ඒ අනුව සියලු දෙනාට සහන සලසන්න හැකියාව තිබෙනවා. පොහොර නැහැ කියනවා. නමුත් අපි පොහොර සමාගම් සමඟ සාකච්ඡා කොට තිබෙනවා. ආහාර සුරක්ෂිතතා කමිටුව සති දෙකකට වරක් හමුවී සාකච්ඡා කරනවා. ටී.එස්.පී. සහ යූරියාවල යම්කිසි අඩුවක් තිබෙනවා. ඒවා ප්‍රමාණාත්මකව සම්පාදනය කරන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. රජය ලබාදෙන සහන පැකේජය තුළ පීඩාවට පත් ජනතාවට වගේම පීඩාවන් අවම කරන්නත් සැලසුම් කර තිබෙනවා.
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු මිල වැඩිකිරීමක් කර නැහැ. ඉදිරියේදී ආනයනය කරන භාණ්ඩවල මිල ගණන් වැඩි වන්නේ නම් යම්කිසි මිල ඉහළ යෑමක් වෙනවා. සංචාරකයන්ගේ අඩුවීමක් ද මේ වන විට සිදුව තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ ආයෝජකයන් වෙනත් පැතිවලට යන්න අවස්ථාව තිබෙනවා. ඒ අනුව ඔවුන් ලබාදෙන රැකියා සහ ආයෝජනය කරන ප්‍රමාණය අනුව අපි සලකා බලනවා. ඒ අනුව වසර 6 සිට වසර 10ක් දක්වා බදු සහන ලබාදෙනවා. ඩොලර් මිලියන 50ත් 100ත් අතර කෘෂිකාර්මික ක්ෂේත්රයට රැකියා ගේනවා නම් අවුරුදු 10ක බදු සහන ලබාදෙනවා. එවැනි යෝජනා අපි ඉදිරිපත් කර තිබෙනවා. කලාපීය ලෙස ආයෝජකයන් කැඳවා ගන්න අපි උත්සාහ කරනවා. භාණ්ඩ බෙදාහැරීම සඳහා ටෙන්ඩර් කැඳවනවා. සුදු සීනි රුපියල් 205ට දුන්නා. දූඹුරු සීනි රුපියල් 242ක් වෙනවා. ලොකු ලූනු රුපියල් 126ක් වෙනවා. රතු ලූනු රුපියල් 230ක් වෙනවා. අර්තාපල් රුපියල් 193ක් වෙනවා. භාණ්ඩ රැසක් තිබෙනවා. සුදු ලූනු 317ක් වෙනවා. භාණ්ඩ මිල අඩුවීමක් තිබෙනවා. මේ තත්ත්වය සමඟ ආනයනකරුවන්, සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කොට වෙෙළඳපොළ තුළ භාණ්ඩවල මිල ඉහළයාම වැළැක්වීම සඳහා රජයක් ලෙස පියවර ගෙන තිබෙනවා. නිල් පාට ගෑස් වෙෙළඳපොළට නිදහස් කර තිබෙනවා. කහපාට ගෑස් සමාගමට අපි දැනුම් දුන්නා. ලිට්රෝ රුපියල් 1000ක් අඩුවෙන් තිබෙනවා. ඉදිරියේදී කහ සිලින්ඩරය තිබෙන අයට නිල් පාට සිලින්ඩරයට ගතහැකි පරිදි ඉදිරියේ කටයුතු කරනවා. පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒ කටයුතු කරනවා. මේ උත්සව සමයේදී අපහසුවකින් තොරව භාණ්ඩ මිලට ගන්න හැකි තත්ත්වයක් ඇතිකර තිබෙනවා. අද ලබාදෙන සහන විපක්ෂය බිය ගැන්වීමක් වෙනවා” යැයි පැවැසීය.
ස්වර්ණා විජේකෝන් සහ මහින්ද අලුත්ගෙදර








