ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා අනීතික අයුරින් සේවකයන් 06 දෙනෙකු බඳවා ගත් බවට සිදු කළ විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති උපාලි සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්යක්ෂ ජනරාල් සිරිල් දේවප්‍රිය අබේසිංහ යන දෙදෙනා ලබන 17 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලුත්කඩේ අංක 07 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ආර්.ඩී. ජානක මහතා නියෝග කළේය.
එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සම්පූර්ණව තිබිය දී නීත්‍යනුකූල නොවන ලෙස අනුයුක්ත කර සංස්ථාව මඟින් එම සේවකයින්ට වැවුප් හා දීමනා ලෙස රු: 14,325,422.83 ක මුදලක් ගෙවීමට කටයුතු සලස්වා දූෂණය නැමති වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව සැකකරුවන් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
පළමු සැකකරු හැරුණුකොට අනෙකුත් සැකකරුවන් බඳවා ගැනිමේදී සම්මුඛ පරීක්ෂණවත් සිදු කර නැතැයි සැකකරුවන් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලීමක් සිදු කළ ද එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් දෙදෙනා ලබන 17 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම පුද්ගලයන් බඳවා ගැනීමේදී අධ්යක්ෂ මණ්ඩල අනුමැතියවත් ලැබී නැති බව සිදු කළ විමර්ශන මඟින් අනාවරණය වී තිබෙනවා. පළමු සැකකරු වන සරත් කෝන්ගහගේ යන අය විසින් දෙවන සැකකරුට ලිපියක් ලබා දෙමින් මෙම පුද්ගලයන් බඳවා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා යැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නැහැ. තවත් සාක්ෂි ලබා ගැනීමට තිබෙනවා. සැකකරුවන් ඇප මත මුදා හැරියහොත් සාක්ෂි වසන් කිරීමට කටයුතු සිදු කරාවි යැයි පවසමින් අල්ලස් කොමිසම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය කාලයක් ගත වූ සිද්ධියක් බවය. තම සේවා දායකයන් සේවයේ යෙදෙන්නේ නැති බව කී නීතිඥ මඬුල්ල සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරිමට කිසිදු හැකියාවක් නැතැයි කියා සිටියේය. ඒ අනුව සැකකරුවන් සුදුසු ඕනෑම ඇපයක් මත මුදා හරින ලෙසත් නීතිඥ මඬුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සියලු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා ඇප ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් ලබන 17 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.
සුභාෂිණී සේනානායක








