අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක සටන් විරාම කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අත්හිටුවන ලෙස ඔවුන් කළ ඉල්ලීමට තමා එකඟ වූ බවයි.
ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිතව විවෘත කිරීමට ඉරාන ඉස්ලාමීය ජනරජය එකඟ වීම යන කොන්දේසිය මත, එරටට එල්ල කිරීමට සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාර සති දෙකක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මෙය දෙපාර්ශ්වීය සටන් විරාමයක් වනු ඇති බවත්, මැද පෙරදිග කලාපීය සාමය උදෙසා වන ස්ථිර ගිවිසුමක් කරා මේ වන විටත් දෙරටම බොහෝ දුර පැමිණ ඇති බවත් ඔහු පෙන්වාදී තිබෙන අතර එමෙන්ම මේ වන විට ඉරානයෙන් කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ලැබී ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
මතභේදයට තුඩු දුන් කරුණු සියල්ලටම පාහේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර එකඟතාව ඇති වී තිබෙන අතර මෙම සති දෙකක කාලය අදාළ ගිවිසුම අවසන් කිරීමට සහ සම්පූර්ණ කිරීමට ඉඩ සලසනු ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.








