අප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට ඍජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේ (06) දහවල් 12:13ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් වූ බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම මැයි මාසය හෝ ජුනි මාසය වනවිට සුපුරුදු වර්ෂාපතනය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි පුරෝකථනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
‘නිරිතදිග මෝසමේදී දැනට තියෙනවාට වඩා වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්… ඒ කියන්නේ 30%ට වඩා අඩුවෙන්න පුළුවන්. හැබැයි මැයි කියන්නේ එල්නිනෝ එකේ ආරම්භයක් පමණයි. මැයි මාසේ සහ ජූනි මාසය වෙනකොට සුපුරුදු වර්ෂාව එයි කියන විශ්වාසය තියෙනවා’ යැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
අද (07) දින දහවල් 12:13 ට දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැළියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.
උතුරු, උතුරු-මැද, වයඹ, නැඟෙනහිර පළාත්වල සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අද(07) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේ(06) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.2ක් ලෙස හම්බන්තොට කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා විය.
උපාලි කරුණාරත්න








