සහරාන් පිළිබඳ 2016 වසරේ කෙරුණු විමර්ශන නැවැත්වූයේ මුජිබර් රහුමාන් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
“2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සොයා ගන්නවා ඉන්දියාවේ සිටින සෙයින් ෂාහන් නිසාම් හෙවත් සෙයින් මවුලානා නමැති අය සමඟ මුජිබර් රහුමාන් සබඳතා පවත්වනවා කියලා.” යැයිද උදය ගම්මන්පිල මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් තමන් සිදුකළ පර්යේෂණාත්මක ග්‍රන්ථයේ කරුණු පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ද ඔහු මුජිබර් රහුමාන් මහතාට අභියෝග කරයි.
උදය ගම්මන්පිල මහතා මෙම කරුණු සඳහන් කරනු ලැබුවේ පක්ෂ කාර්යාලයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
“පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන පොතක් ලිව්ව නිසා රාජපක්ෂලා බේරා ගන්න පොත් ලියනවා යනාදී වශයෙන් මඩ ගහනවා. නමුත් මගේ පොතේ නිගමනය වැරදියි, විවිධ කුමන්ත්‍රණ න්‍යායන්ට පිළිතුරු ලබා දුන්නු ආකාරය වැරදියි කියලා කවුරුවත්ම කියන්නේ නෑ. ඒ නිසා පදනම් විරහිත පහර දීම් මගේ පොතේ නිරවද්‍යතාවට ලැබෙන සහතික ලෙසයි මම සලකන්නේ. වසර පහක් පුරා ඉතාම සැලසුම්සහගතව ගොඩ නැඟූ මහ මොළකරු ප්‍රෝඩාව එක පොතකින් සුනු විසුනු වී යෑමේ වේදනාව අපට තේරුම් ගන්න පුළුවන්.
මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා පසුගිය සෙනසුරාදා මාධ්‍ය හමුවක් පවත්වලා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම නමින් මා නිකුත් කළ පොත පිළිබඳ පච අහුරක් විසි කළා. ඒ පච සියල්ලටම පිළිතුරු දීලා මේ පොත නිකුත් කිරීමෙන් මුජිබර් මන්ත්‍රිතුමාට හිත රිදුණේ ඇයි කියන එකත් පැහැදිලි කිරීම මගේ යුතුකමක්.
මලිත්ට ගැහුව්වාම චංචලා අඬන්නේ ඇයි කියලා කියමනක් තිබෙනවානෙ. ඒ වගේ මාලිමා ආණ්ඩුවේ බොරුවක් හෙළිදරවු කළාම මුජිබර්ට රිදන්නේ ඇයි කියන ප්රශ්නය අහන්න වෙනවා. ආණ්ඩුව බොරු කරනවා කියන එක හෙළිදරවු කරලා ආණ්ඩුව අසීරුතාවට පත් වුණාම වඩාත්ම සතුටු වෙන්න ඕනෑ ප්‍රධාන විපක්ෂය.
සජබෙ කොළ පාට තොප්පිය දාගෙන හිටියත් මුජිබර්ගේ හිස තවමත් තිබෙන්නේ ජවිපෙ කියන එකයි ඒකෙන් පේන්නේ.
1999 ජනාධිපතිවරණයේ දී අද සජබ ඉන්නා සාතිශය බහුතරය සහයෝගය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට. නමුත් මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා සහය ලබා දුන්නේ එජාපයට නොවේ. ජවිපෙට. ඒ තමයි මුජිබර් මන්ත්‍රිතුමාගේ හදවතේ පක්ෂය. සජබ කියන්නේ තමන්ට මැතිවරණය දිනන්න ඕනෑ නිසා තමන් ඉන්නා පක්ෂයක් විතරයි.
ඒ විතරක් නොවේ. පොලිස් ලොක්කෙක් මුජිබර්ව පොලිස් විමර්ශනයකින් බේරා ගත්තා. 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සොයා ගන්නවා ඉන්දියාවේ සිටින සෙයින් ෂාහන් නිසාම් නොහොත් සෙයින් මවුලානා අය සමඟ මුජිබර් රහුමන් සබඳතා පවත්වනවා කියලා. සෙයින් මවුලානා කියන්නේ ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුකාරයෙක්. මේ නිසා මුජිබර් රහුමන් කියන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයාගෙන් ප්‍රශ්න කරන්න ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අවශ්‍ය වෙනවා. නමුත් පොලිස් ලොක්කෙක් මැදිහත් වෙලා ඒක නවත්වනවා. සහරාන් මහ මොළකරු කිව්වාම මුජිබර්ට රිදෙන්නේ ඒ නිසා වෙන්නැති.
ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ගුජරාත් ත්‍රස්ත විරෝධි බළකාය විසින් 2024 මැයි මාසයේදී ශ්‍රී ලාංකික අයිඑස් ත්රස්තවාදීන් හතරදෙනෙක් අහමදාබාද් නගරයේදී අත්අඩංගුවට ගන්නවා. ඒ අය ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කරමින් ඉන්නා අතරේ අත්අඩංගුවට ගන්නේ. මේ අය කලින් සහරාන්ගේ ජාතික තව්හීද් ජමාත් සාමාජිකයෝ. මේ අයත් මුජිබර් රහුමාන් සබඳතා පවත්වන සෙයින් මවුලානා සමඟ සම්බන්ධතා පවත්වලා තිබෙනවා.
මුජිබර් මන්ත්‍රිවරයා අන්තවාදි ත්රස්තවාදීන් බේරා ගන්න ඉදිරිපත් වුණු පළමු අවස්ථාව මේක නොවේ. 2016 නොවැම්බර් 18 දා එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට මුස්ලිම් අන්තවාදය ගැන වැදගත් අනාවරණයක් කළා. ඒ තමයි ලාංකිකයින් 32ක් අයිඑස් ත්‍රස්තවාදය වෙනුවෙන් සටන් කිරීමට සිරියාවට ගිහින් ඉන්නා බව. ඒ වගේම ලංකාවේ ඉස්ලාම් අන්තවාදයක් පැතිරෙමින් පවතින බවට එතුමා අනතුරු ඇඟෙව්වා. එතුමාට ඒ කතාව කරන්න අවශ්‍ය තොරතුරු ලැබුණේ බුද්ධි අංශවලින්.
එදා ඒ කතාවේ කියූ කරුණු ගැන සොයා බැලීමක් කළා නම් 2019දී පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා. නමුත් ඒ වෙනුවට කළේ මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා විජේදාස ඇමැතිතුමාට කොරහේ කිඹුලන් දකිනවා. මුස්ලිම් සමාජයට බොරු චෝදනා නඟනවා කියලා දැඩි ප්‍රහාරයක් දීලා එතුමාව නිහඬ කරනවා. අවසානයේදී අධිකරණ ඇමැති ධුරයෙනුත් ඉවත් කරනවා.
බුද්ධි අංශ නැඟී එන මුස්ලිම් අන්තවාදය ගැන කරුණු වාර්තා කළත් මුස්ලිම් මන්ත්‍රිවරුන්ගෙන් එල්ල වුණු පීඩනය නිසා ඒ ගැන ආණ්ඩුවේ නිසි සැලකිල්ලක් යොමු වුණේ නෑ. ඒ නිසාම තොරතුරු තිබියදී පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර ගන්න බැරි වුණා කියලා විමර්ශන කොමිෂන් සභාවේදී හෙළි වෙනවා. මේ ගැන මගේ පොතේ පැහැදිලිව විස්තර කර තිබෙනවා.
මුජිබර් මන්ත්‍රිතුමා මගේ පොත් නිකුතුවෙන් පස්සේ භූමිතෙල් වැදුණු ගැරඬියෙක් වගේ දඟලන්නේ මගේ පොතෙන් යෝජනා කරන විධියට සමාජ අවධානය අප අතරේ සිටින ඇවිදින බෝම්බවලට යොමු වුණොත් මුජිබර්ලාගේ අන්තවාදි ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා.
මුජිබර් රහුමන් මන්ත්‍රිතුමනි, 2016 දී මුස්ලිම් අන්තවාදය පිළිබඳ සහරාන්ලාට එරෙහිව ආණ්ඩුව පියවර ගන්නා එක නවත්වලා පාස්කු ප්‍රහාරයට පාර කැපුවේ ඔබයි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය සෑම කෙනෙකුගේ ලේ ඔබේ දෑතේ ගෑවිලා ඉවරයි. දැන් අන්තවාදයට විරුද්ධ වෙලා ඒ ලේ සෝදා ගන්න කාලය හරි කියලා අපි මුජිබර් මන්ත්‍රිතුමාට සිහිපත් කරනවා. තව තවත් අහිංසක මුස්ලිම් තරුණයින් අන්තවාදයට තල්ලු කරලා අපේ මවුබිම නැවත වතාවක් ලෙයින් තෙත් කරන්න එපා කියලා අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා”.
රන්මලී සෝමසිරි, මහින්ද අලුත්ගෙදර








