ශාන්ත පීටර්ස්බර්ග් නගරය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා

රුසියානු සම්මේලනයේ ශාන්ත පීටර්ස්බර්ග් නගර ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ඇලෙක්සැන්ඩර් බෙල්ස්කි මහතා සමඟ හමුවක් මාරියින්ස්කි මාලිගාවේදී පැවැත්වුණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා ශාන්ත පීටර්ස්බර්ග් අතර සංස්කෘතික, ආර්ථික හා නාගරික සබඳතා නව මට්ටමකට උසස් කිරීම පිළිබඳව සාර්ථක සාකච්ඡා විය.

විශේෂයෙන්ම කොළඹ සහ ශාන්ත පීටර්ස්බර්ග් නගරයන් හි වන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ඇති අවස්ථා පිළිබඳවද මෙහි දී අවධානය යොමු කර ඇති බව සඳහන් වෙයි.

ශාන්ත පීටර්ස්බර්ග් නගරය නැරඹීමට කොළඹ මහ නගර සභා නියෝජිතයන්ට ආරාධනා කිරීමත් දෙපාර්ශවීය සහයෝගිතාව සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ග සිතියමක් සකස් කිරීම පිළිබඳවත්මෙහිදී යෝජනා වී තිබෙයි.

රටවල් දෙක අතර වෙළඳාම වර්ධනය වෙමින් පැවතියද, සංස්කෘතික සහ සංචාරක ක්ෂේත්‍රවල අන්තර්ක්‍රියා තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණි.

මෙහි දී ශ්‍රී ලංකාවට අභියෝගකාරී ස්වභාවික විපත් අවස්ථාවලදී රුසියාව විසින් ලබාදුන් වෛද්‍ය උපකරණ හා ආහාර ආධාර සඳහා විශේෂ ස්තුතිය පළ කෙරිණි.

මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන බලශක්ති සහයෝගිතා සාකච්ඡා පිළිබඳවද මෙහිදී ඔවුන් සාකච්ඡා කළ අතර ශාන්ත පීටර්ස්බර්ග් නගරය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව පෙර පැවැති සාකච්ඡාද මෙහි දී අවධාරණය කෙරුණි.

මෙම සාකච්ඡා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 70ක් සහ කොළඹ – ශාන්ත පීටර්ස්බර්ග් සහෝදර නගර සබඳතාව ආරම්භ වී වසර 30ක් සම්පූර්ණ වීමට ආසන්නව පවතින අවස්ථාවකදී වීමත් විශේෂත්වක් විය.