රුපියල් 45,000 ක අල්ලසක් ලබාගත් තැරැව්කරුවකු අත්අඩංගුවට

රුපියල් 45,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් තැරැව්කරුවකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු, සැකකරු ඊයේ (06) පෙරවරුවේ අයිරබි හංදිය පාලම අසල දී අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින්, බලපත්‍රයක් නොමැති ඉඩමකට ඔප්පුවක් සකසා දෙන බව පවසා, මොහු මීට පෙර අවස්ථාවලදී රුපියල් 275,000 ක මුදලක් අදාළ පැමිණිලිකාරියගෙන් ලබාගෙන තිබෙනවා.

අනතුරුව නෝවුඩ් වසම භාර ග්‍රාම නිලධාරීවරයාගේ වාර්තාව ලබා ගැනීමට ඔහුට ලබාදිය යුතු බව පවසා සැකකරු නැවතත් රුපියල් 45,000 ක මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල ලබාගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.