දිට්වා සුළි කුණාටුවෙන් දැඩි හානියට පත්ව තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ලබන 09 වැනිදා සිට දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර සිටියි.
මෙමඟින් උතුරු පළාත සහ අගනුවර අතර ප්‍රධාන ප්‍රවාහන සබඳතාව යළි තහවුරු වන අතර, යළි දුම්රිය ගමන් ආරම්භයත් සමඟ කොළඹ කොටුව සහ කන්කසන්තුරේ (KKS) අතර දුම්රිය ධාවනය පෙර පරිදිම සිදු කෙරේ.
අලුයම 5.15ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරේ බලා පිටත්වන සහ පස්වරු 1.50ට කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වන සීඝ්‍රගාමී අන්තර් නගර දුම්රියන්වල ගමන් වාර සඳහා ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් ඊයේ (05) සිටම බැතිමතුන්ට සහ මගීන්ට විවෘත කර තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයකට බරපතළ හානි සිදුවීම නිසා පසුගිය කාලසීමාව තුළ මගී ප්‍රවාහනය මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද අඩාළ වී තිබුණි. මෙම මාර්ගය යළි විවෘත කිරීමත් සමඟ උතුරු පළාතේ ආර්ථික ක්‍රියාවලියට නව පණක් ලැබෙනු ඇති බවත්, මගී ජනතාවට සහනදායී ලෙස සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන බවත් දුම්රිය බලධාරීහු පෙන්වා දෙති.
සුභාෂිණී සේනානායක








