Walk for Peace Program in Sri Lanka සාම පා ගමන සඳහා රාජ්‍ය අනුග්‍රහය

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින්, දින 110 ක් පුරා සාමය වෙනුවෙන් පා ගමනේ යෙදුණු ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට නියමිත සාම පා ගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (02) පැවැත්වුණා.

ආචාර්ය පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති බවයි සඳහන් වන්නේ.මෙම ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පා ගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් මේ මස 21 වැනිදා මෙරටට වැඩම කිරීමට නියමිත අතර, අප්‍රේල් 22 සිට අප්‍රේල් 28 දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස මෙම සාම පා ගමනෙහි නිරත වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අප්‍රේල් 21 වන දින ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් මෙම සාම පා ගමනේ කටයුතු ආරම්භ කෙරෙන අතර, ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙත සාමයේ පණිවිඩය ලබා දීම සිදු කෙරෙනවා.

අප්‍රේල් 22 වැනිදා දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පා ගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28 වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතයි.

සාම පා ගමනේ නිමාව සනිටුහන් කරමින් අනුරාධපුරයේ සිටම වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

මෙම සාම පා ගමනට එක් වන භික්ෂූන් වහන්සේගේ දානය සහ ගිලන්පස සූදානම් කිරීම, සනීපාරක්ෂක කටයුතු මෙන්ම ආරක්ෂාව සැපයීම ඇතුළු සංවිධාන කටයුතු පිළිබඳව මෙම සාකච්ඡෘවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 news images