රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මෙය හුදෙක් දේශපාලනිකව රජය අපහසුතාවට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන දෙයක් බවයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
සීමාවාසික පුහුණුව අවසන් කළ නවක වෛද්‍යවරුන් 453 දෙනකුට රජයේ සේවයට එක්වීමට ඇති අවස්ථාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවහිර කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට ලබා දී ඇති කාලය එළැඹෙන සෙනසුරාදා දහවල් 12.00 ට අවසන් වන අතර, එම කාලසීමාව කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි ඔහු අවධාරණය කළේ.
යම් වෛද්‍යවරයකු සීමාවාසික පුහුණුවෙන් පසුව අයදුම් නොකළහොත්, ඔහුට රජයේ සේවයට ඇතුළත් විය නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.








