යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවීන් සඳහා පොහොර ලබාදීම සඳහා නිවාඩු දිනවලදීත් ගොවිජන සේවා මධ්‍යස්ථාන විවෘතව තැබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, සියලු නිවාඩු දිනවල සහ සති අන්තයේත් අදාළ ප්‍රදේශයන් හි ගොවිජන සේවා මධ්‍යස්ථාන විවෘතව තැබීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග සඳහන් කරන්නේ.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් පොහොර සැපයුමට සිදුවිය හැකි බාධාවන් සහ විවිධ පාර්ශ්ව විසින් පොහොර එක් රැස් කිරීමට ගනු ලැබූ උත්සාහයන් හේතුවෙන් වී වගාව සඳහා අවශ්‍ය අමිශ්‍ර පොහොර රජයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පමණක් නිකුත් කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
යල කන්නයේ වි වගාව ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පොහොර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවත්, යූරියා පොහොර කිලෝ 50 ක මිටියක් රුපියල් 9,900 – 10,200 අතර මුදලකට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් අලෙවි කරන බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.








