එයාර්බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.
අල්ලස් කොමිසම මීට පෙර කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් අද දින සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් මෙම වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර, සැකකරුවන් දිවයිනට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම් දෙන ලෙසට ආගමන හා විගමන පාලකවරයාට වැඩිදුරටත් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.








