බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි

අද (02) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව සදහන් කෙරේ.

දකුණු පළාතේත් අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තෙම්න්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.