රජය විසින් විධිමත් ස්ථානමාරු ක්‍රියාවලියක් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් ඒ අනුව කිසිදු ආකාරයේ නීතිවිරෝධි ස්ථාන මාරුවීමක් කර නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධව ඊයේ (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
එළැඹෙන මැයි 10 දින වන විට ස්ථාන මාරු කිරීමට වෛද්‍යවරුන් 6,000ක ප්‍රමාණයක් සිටින බව පැවසූ ඇමැතිවරයා සිදුකරමින් පවතින ස්ථානමාරු ක්‍රියාවලිය තුළින් අදාළ සංගමයේ ක්‍රියකලාපයන් තුළ අසාධාරණයට ලක්වූ වෛද්‍යවරුන් රැසකට සාධාරණයක් ඉටුවෙමින් පවතින බව කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“මැයි 10 වෙනකොට ස්ථානමාරු කිරීමට නියමිත වෛද්‍යවරුන් 6,000ක් පමණ මාරුවීමට නියමිතයි. ඒක පෙබරවාරි පළමුවැනි සතියේ පටන් ගත්තේ. මේ ආකාරයට විධිමත් ක්‍රියාවලියක් පසුගිය වසර 13ම සිදුවෙලා තිබුණේ නෑ. ඔය ට්‍රාන්සර් බෝඩ්වල හිටියයි කියලා කිව්වාට ඒ සංගමයේ සාමාජිකයෝ සමහර තැන්වල අවුරුදු 13-17 හිටියා. අක්ෂි රෝහලේ අවුරුදු 13ක් හිටියා තමන්ට නියමිත ජාතික රෝහලට පාරෙන් පැනලා යන්න බැරිව. ඒ නිසා මේ සියලු අක්රමිකතාවන් නතර කරලා වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් යනවා. මේකෙන් බහුතරයක් අසාධාරණයට ලක්වෙලා හිටපු වෛද්‍යවරුන්ට සාධාරණයක් වෙන නිසා ඒ අය කැමැති. මේකට අකැමැති වෙන්නේ තමන්ගෙ බලය පාවිච් කරලා තමන්ගේ විධායක සභාවේ සාමාජිකයෝ, තමන්ගේ සාමාජිකයන්ගේ බිරින්දෑවරු තමන්ට කැමැති කැමැති තැන්වල අවුරුදු ගාණක් රඳවගෙන හිටපු අය. ඒ නිසා අදාළ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් යනවා.
2018 පමණ වෙන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබුණා උතුරු නැඟෙනහිර ලැයිස්තුවක්. ඒ කියන්නේ යුද්ධය කාලයේ සහ යුද්ධය කාලයෙන් පසුව ඒ ප්‍රදේශවලට වෛද්‍යවරුන් යැවීම සඳහා වුණු ලැයිස්තුවක්. 20218 වෙන කොටත් ඒක තිබුණා. යුද්ධය නතර වෙලාත් අවුරුදු 8-9ක් වෙනකල්ම ඒක නතර කරන්න කවුරුවත් උත්සාහ ගත්තෙත් නෑ. 2020දී මේක දුෂ්කර ලැයිතුවක් හැටියට ආවා. ඒ දුෂ්කර ලැයිස්තුව සකස් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්නායක තිබෙනවා. ප්‍රධාන නිර්ණායක 7ක් යටතේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය එම නිර්ණායක සකස් කළ යුතුව තිබුණේ. හැබැයි මේ සංගමයේ බලපෑම මත ඒ ලැයිස්තුවට විවිධාකාරයේ අකටයුතුකම් වෙලා තිබුණා.
මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරු සම්බන්ධ කරගෙන සාකච්ඡා වට ගණනාවක් කරලා අර නිර්ණායක 7 මත පදනම් කරලා දුෂ්කර සේවා ලැයිස්තුවක් හැදුවා. ඒ ලිස්ට් එක හදන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ වෘත්තිය සංගම් අවශ්‍ය නෑ. ඒක යූනියන්වල වැඩක් නෙමෙයි ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැටුප් ලබන, රාජ්‍ය සේවය ඇතුළේ තනතුරුවලට පත් කරලා තිබෙන නිලධාරීන් ඉන්නවා සෞඛ්‍ය ලේකම්වරයාගේ ඉඳලා. ඒ අයට පුළුවන් තමන්ගේ නිලධාරීන් ලවා මේ තොරතුරු ගෙන්වාගෙන ලැයිස්තු සකස් කරන්න. ඒ අනුව 265ක ලැයිස්තුවක් සකස් කළා. ඒ ලැයිස්තුව තමයි අපි ප්‍රකාශයට පත් කළේ. ඒකට යූනියන් සම්බන්ධ කරන්න අවශ්‍ය නෑ.”
තුන්වැනි කාරණය මේ පශ්චාත් සීමාවාසික පත්කිරීම් කියන්නේ වෛද්‍යවරයකු ලෙස පළමුවෙන්ම රාජ්‍ය සේවයට ඇතුළත් කරගන්නා අවස්ථාව. ඒක පත්වීමක් මිසක් ස්ථාන මාරුවීමක් නෙවෙයි. පත්වීම් දීලා එපැයි ස්ථාන මාරු කිරීම් කරන්න වෙන්නේ. එක්කෝ අපේ වෛද්‍ය පීඨවලින් උපාධිය ලබාගෙන, නැත්නම් කේඩීයු එකෙන්, එහෙම නැත්නම් විදේශීය විශ්වවිද්‍යාලවල උපාධිය ලබාගෙන වෛද්‍ය උපාධියක් සහිත අය සීමාවාසික පුහුණුව අවුරුද්දක් අවසන් කළාට පස්සේ ඒ අය සුදුසුකම් ලබනවා රාජ්‍ය සේවය සඳහා ඇතුළත් වෙන්න ඉල්ලුම් කරන්න. ඒකට වෛද්‍ය සේවා ව්‍යවස්ථාවට අනුව වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීම තිබෙන්නේ විවෘත බඳවා ගැනීමක්. ප්‍රාථමික සේවයට බඳවා ගන්නේ. බඳවා ගැනීම සඳහා වන වෘත්තීය සුදුසුකම් සහ අධ්‍යාපන සුදුසුකම් මේවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත කරන ලද පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක හෝ විදේශ විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක වෛද්‍ය උපාධිය ලැබ වෛද්‍ය සභාව විසින් පිළිගන්නා ලද රෝහලක වසරක සීමාවාසික පුහුණුව සාර්ථක ලෙස අවසන් කරන ලද වෛද්‍යවරයකු ලෙස සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචිය ලැබූ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීම සඳහා සුදුසුකම් ලබයි. අන්න එහෙම සුදුසුකම් ලබපු අයට පුළුවන් බඳවා ගැනීමට අයදුම් කරන්න. දෙපාර්තමේන්තු චක්රලේඛයකින් හා රජයේ ගැසට් පත්‍රයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරනු ලබන ප්‍රසිද්ධ දැන්වීමකින් ඒ සඳහා සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනවා. දැන් මේ අයදුම්පත් කැඳවමින් තිබෙනවා. අප්‍රේල් 04 දවල් 12ට අයදුම්පත් කැඳවීම අවසන් වෙනවා. ඒ අයදුම් කරන අය පමණක් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන් ලෙස රජයේ රෝහල්වල සේවයට බඳවා ගන්නවා. අයදුම් නොකරන අයට එතැනින් එහාට සේවය කරගෙන යන්න බැහැ. ඒක තමයි නීතිය, ඒක තමයි චක්‍රලේඛය. ඒක තමයි ආයතන සංග්‍රහය. ඒක කාර්යපටිපාටි නීති. ඒ අනුව අප්‍රේල් මස 04 වැනිදා දවල් 12 වෙනකම් අයදුම් කරන අය පමණක් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්නවා. එතැනින් එහාට කිසිම ආකාරයකට කාලසීමාව දික් කරන්නෙත් නැහැ. බඳවා ගැනීම් වෙනස් කරන්නෙත් නැහැ. මේක තමයි නීතිය. ඒ අනුව කටයුතු කරනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයම කියලා තියෙනවා ඒගොල්ලෝ ස්ට්‍රයික් එක හවස ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක කරනවා කියලා. පෞද්ගලික සේවාවවල නිරත වෙනවා කියලා. එතැනිනුත් රෝගීන්ට යම් සහනයක් ලැබෙයි, මුදල් ගෙවලා හරි සේවයක් ලබාගන්න. හැබැයි මතක තියා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයක් පවත්වා ගෙන යනවා. අමාත්‍යාංශයේ වැඩ අමාත්‍යාංශය කරගෙන යනවා. යූනියන් එකේ වැඩ යූනියන් එක කරපුදෙන්. මෙච්චර කල් කරලා තිබුණේ අනවශ්‍ය ලෙස මේ යූනියන් එක අමාත්‍යාංශයේ වැඩවලට මැදිහත් වෙන එක. පත්වීම් ලබා දීමේදී, ස්ථාන මාරු කිරීම් කිරීමේදී, ලයිස්තු හැදීමේදී මේ මැදිහත්වීම කොතරම්ද කියනව නම් ඒ අය වෙනම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාමරයක් වෙන් කරගෙන වෛද්‍ය ක්ෂේත්රයේ අය දන්වා 07 කාමරය කියල එකක් තිබුණා. වෙනම කාමරයක් තියා ගෙන. රෝහල්වල වැඩ කරන්න ඕනි වෛද්‍යවරුන් 04-06ක් එතැන තියාගෙන. ඒ පමණක් නෙවෙයි වැටුප් ගෙවලා සෞඛ්‍යයට සම්බන්ධයක් නැති කෙනෙක් 2016 ඉඳන් එතැන තියාගෙන තමයි මේ ලයිස්තු සකස් කරලා තිබුණේ. අපි එනකම් එහෙම තමයි වැඩ කරලා තිබුණේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් ඒකට යටවෙලා හිටියා. එහෙම කරන්න බැහැ. අමාත්‍යාංශයක් තියෙනව නම් අමාත්‍යාංශය අනුව කටයුතු කරන්න ඕනි. අපි ඒ අනුව කටයුතු කරනවා. මේ ට්‍රාන්සර් බෝඩ් එකේ ඉන්නවා කියලා අමාත්‍යාංශයේ හැම කටයුත්තකටම අත තියන්න බැහැ. ට්‍රාන්සර් බෝඩ් කියන්නේ සකල ලෝක පූට්ටු වගේ දෙයක් නෙවෙයි. හැමදේකටම අත දාන්න බැහැ. එතැන තිබෙන්නේ ස්ථාන මාරු කිරීමේදී තමන්ගේ සාමාජිකයකුට යම් අසාධාරණයක් වෙනවනම් ඒකට ඉදිරිපත් කිරීම් කරනවා මිසක් ස්ථාන මාරු ලැයිස්තු හදන එකට, පත්වීම් ලැයිස්තු හදන එකට එහෙම අයිතියක් නැහැ කිසිම රජයේ සේවකයකුට. එහෙනම් ගුරුවරුන්ට, නර්ස්ලාට, එහෙම එකක් නැහැ . කරුණාකරලා ඒ අයට කියන්නේ සංකේත වැඩ වර්ජන කරන්න යන්න එපා. ලෝක යුද්ධයක් පවතින වෙලාවේ කවුරු හරි අනීතික ලෙස මනුෂ්‍යත්වයෙන් තොරව මේ වගේ වැඩ වර්ජන කරනව නම් ඒ ගැන සලකා බලන්න ඕනි. වැඩ කරන අය වැඩ කරන්න. ඒ අයට වැඩ කරපු දවස්වලට වැටුප සහ අමතර දීමනාත් ලබා දෙනවා. මේක රජය ස්ථාවර තීන්දුවක ඉන්නවා.”
නුවන් කොඩිකාර







